Tuesday, October 27, 2026
Follow Us
පූජ්‍ය හන්තානේ ධම්මගවේසී හිමිපාණෝ අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලබති

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය හන්තානේ ධම්මගවේසී මාහිමිපාණන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ මොරවක අරති අධ්‍යාත්මික සෙනසුනේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන අතර, බියගම ධම්ම විහාර මධ්‍යස්ථානය, කෑගල්ල කොටිගල ධම්මනිකේතන බෞද්ධ මධ්‍යස්ථානය සහ සිංහාරගම සිරි ධම්මරතන ධර්ම පර්යේෂණ භික්ෂු පුහුණු මධ්‍යස්ථානය යන විහාරස්ථාන තුනෙහි අධිපතිත්වය දරති.

උන්වහන්සේ වෙත අභිනව පදවියට අදාළ අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ පූජෝත්සවය අද(27) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පූජ්‍ය හන්තානේ ධම්මගවේසී මාහිමිපාණන් වහන්සේ වෙත අභිනව අනුනායක ධූරයට අදාළ අක්තපත්‍රය පිළිගන්වන ලදී. අභිනව පදවියට අදාළ විජිනිපත ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසින් සිදු කරන ලදී.

මෙම පූජෝත්සවයට ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනී Daw Malar Than Hteik මහත්මිය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා අතාවුද මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආරාධිත අමුත්තෝ සහ දායක දායිකාවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.