පාර්ලිමේන්තුව නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
නොවැම්බර් 03 අගහරුවාදා, විපක්ෂය විසින් භාර දීමට නියමිත ප්රතිශෝධිත විශ්වාසභංග යෝජනාව, විවාදය සඳහා නියම කරන ලදී.
නොවැම්බර් 04 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
නොවැම්බර් 05 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ.
නොවැම්බර් 06 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීමට සඳහා කාලය වෙන් කර ඇත.
නීතිඥ චිත්රාල් ප්රනාන්දු මහතා - පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීම
ලසිත් භාෂණ ගමගේ මහතා - මාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්රමවේදයක් සකස් කිරීම
නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා - ලංකාවේ සියලුම අධ්යාපන විද්යා පීඨ විශ්වවිද්යාල පීඨ බවට පත් කිරීම
රවීන්ද්ර බණ්ඩාර මහතා - සුහුරු විදුලිබල පද්ධතියක් සහ සුහුරු මීටර් හඳුන්වා දීම
රෝහණ බණ්ඩාර මහතා - පිහිනුම් කුසලතාවය ඉහළ දැමීමේ වැඩසටහනක් සකස් කිරීම
උපුල් කිත්සිරි මහතා - උඩවලව ප්රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම.
නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය - ජපන් ජබර ශාකයේ ව්යාප්තිය හිතකර ලෙස පාලනය හා මර්දනය කිරීම
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.