Monday, October 26, 2026
Follow Us
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍ය ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනයත් සමඟ, බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ගංඟා ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, ඉදිරි පැය කිහිපය තුළ පහත සඳහන් ප්‍රදේශවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන, වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට සහ රියැදුරන්ට  වෙත විශේෂ දැනුම්දීමක් ද සිදු කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ප්‍රවේශම් වන ලෙසත් ඉල්ලා සිටියි.

තවද, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දන්වා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.