Tuesday, October 27, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාර්ටින් (Isabelle Marie Catherine Martin) මහත්මිය අතර අද (27) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී දෙරටටම බලපාන ආරක්ෂක අභියෝග සහ ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු විය.

විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, මිනිස් ජාවාරමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම, මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු රජය ඒකාබද්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු කැනේඩියානු රජයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක්ද සහභාගී වූහ.