2026/2027 සංචාරක සෘතුවේ ආරම්භයත් සමඟ ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය සූරිච් නුවර සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය අද (27) නිවේදනය කළේය.
ඒ අනුව, අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළට පැමිණි එම ගුවන් යානයේ සංචාරකයින් සහ කාර්ය මණ්ඩලය උඩරට සාම්ප්රදායික නර්තන අංගයක් ද සමඟින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
අද සිට 2027 මැයි මාසය දක්වා සූරිච් නුවර සිට කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ ශ්රී ලංකාවේ ජාත්යන්තර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීමටද අවස්ථාව සැලසෙයි.
එමෙන්ම, සංචාරක ආදායම් ඉහළ නැංවීම, සංචාරක ක්ෂේත්රය ආශ්රිත සෘජු හා වක්ර රැකියා අවස්ථා පුළුල් කිරීම සහ විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කිරීම සඳහාද මෙම ගුවන් සේවා මෙහෙයුම් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාත්යන්තර ගුවන් සම්බන්ධතා පුළුල් කරමින් සංචාරක ක්ෂේත්රය තවදුරටත් ප්රවර්ධනය කිරීම තුළින් රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාගැනීමටද මෙවැනි ගුවන් සේවා මෙහෙයුම් ඉවහල් වනු ඇත.