වසර 10 ක් පුරා නවතා දමා තිබූ තැපැල් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරමින් පසුගිය වසර දෙක තුළ පමණක් නව තැපැල් කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 100 ක මුදලක් සහ තැපැල් කාර්යාල නවීකරණය සහ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 120 ක මුදලක් රජය යොදවා ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) පිඹුර - අගලවත්ත නව උප තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
රුපියල් ලක්ෂ 66.3 ක (රුපියල් මිලියන 6.63) වියදමින් ඉදිකෙරෙන මෙම උප තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 03 ක වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට නියමිත අතර, මෙමගින් සෘජුවම සේවය සලසන පවුල් සංඛ්යාව 2,600 කි.
දියුණු ප්රදේශයක් ලෙස පිඹුර ප්රදේශය සංවර්ධනය කළ යුතු බව ද අවධාරණය කළ අමාත්යවරයා, එය උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමේදී ඊට අනුරූපව රෝහල් සහ අනෙකුත් රාජ්ය ගොඩනැගිලි සංවර්ධනය ද සිදුවිය යුතු බවත්, එම නගර සංවර්ධන අවශ්යතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම නව උප තැපැල් කාර්යාලය ඉදිකිරීමට පියවර ගත් බව ද කියා සිටියේය.
පසුගිය කාලසීමාවේ නොසලකා හැර තිබූ තැපැල් ක්ෂේත්රය යළි නංවාලීමට රජය පියවර ගෙන ඇති බවත්, ඒ අනුව දැනටමත් තැපැල් කාර්යාල 13 ක් සහ උප තැපැල් කාර්යාල 03 ක් ඉදිකර අවසන් කර ඇති අතර, තවත් තැපැල් කාර්යාල 06 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව ද පෙන්වා දුන්නේය.
මෙම වසර තුළ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තබන 07 වන තැපැල් කාර්යාලය මෙය බව ද අමාත්යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
කළුතර දිස්ත්රික්කයේ තැපැල් කාර්යාල 34 ක් සහ උප තැපැල් කාර්යාල 130 ක් ද වෙයි.