Wednesday, May 14, 2025
Follow Us

කෙස් සඳහා ඇති සත්කාරවල නිමක් නොමැති තරම්. විවිධ ජාතීන් අනුව, විවිධ ප්‍රදේශ අනුව, විවිධ පාරිසරික සාධක අනුව, පෝෂණ තත්ත්ව අනුව පුද්ගල ස්වභාවය වෙනස් වන අතර කෙස්වල ස්වභාවයද ඒකාකාරී නොවී විවිධ ආකාරයේ වෙනස් ස්වභාවයන් ගැනීම දැනටමත් අප දන්නා කරුණකි.

කෙස් සඳහා ඇති සත්කාර පිළිබඳව එකින් එක දිග හැරෙද්දී එහි තවත් දිගුවක් ලෙස ටොනික් සත්කාර පිළිබඳ මෙලෙස කතාබහ කරමු.

හෙයා ටොනික් වර්ගවල ප්‍රසන්න සුවඳ සහ ටොනික් සත්කාරයකින් ලැබෙන මානසික ලිහිල් බව නිසා බොහෝදෙනා ටොනික් සත්කාරවලට නැඹුරුතාවක් දක්වයි. සේවාදායකයා ඔබගෙන් ටොනික් සත්කාරයක් පමණක් නොව ඕනෑම හිසකෙස් සඳහා වන සත්කාරයක් ඉල්ලූ පමණින්ම ලබාදීම ඔබ කරන්නා වූ සාර්ථක සේවා සැපයීමක් නොවේ.

ටොනික් සත්කාරයට පෙර

ප්‍රථමයෙන්ම සේවාදායකයාගේ හිස කෙස් සහ හිස්කබල පරීක්ෂා කළ යුතුයි. හිස්කබලේ සහ කෙස්වල ස්වභාවය හඳුනාගෙන ඒ අනුවම ගැළපෙන ද්‍රව්‍ය තෝරාගත යුතුයි. බොහෝ ටොනික් වර්ගවලින් හිසකෙස්වල තෙල් සහිත බව පාලනය කිරීමක් සිදු කරයි. එබැවින් ප්‍රතිකාරයට ගන්නා ටොනික් වර්ග අධික තෙල් සහිත කෙස්වලට ගැළපේද, නැතිනම් සාමාන්‍ය කෙස් සඳහා ගැළපෙන වර්ගයක්ද යන්න ස්ථිර කරගත යුතුයි. මෙලෙස සැලකිලිමත් විය යුතු ප්‍රධාන කාරණා අතර රසායනික නිෂ්පාදන කෙරෙහි සේවාදායකයා දක්වන අසාත්මිකතාව පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුයි.

ටොනික් සක්කාරයක් සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

කොණ්ඩයේ ස්වභාවය අනුව ගැළපෙන ටොනික් වර්ගයක්

ඈත දැති සහිත පනාවක්

කොණ්ඩය සෙක්ෂන් කිරීම සඳහා පනාවක්

සෙක්ෂන් ක්ලිප්

කර වටා දැමීමට තුවායක්

ඒප්‍රන්/ කේප්ලර්

කන් සඳහා වන ආවරණ

ටොනික් සත්කාරය සිදු කිරීමට ඔබගේ සූදානම

පළමුව ඔබගේ හිසකෙස් විලාසිතාව කාර්යක්ෂමව සේවා සැපයීමට හැකි අන්දමින් සකස් කර ගත යුතුයි. ඔබට ඇත්තේ දිග කොණ්ඩයක් නම් සත්කාරය කරන අතර හිසකෙස් ඔබගේ මුහුණට එන විට වරින් වර ඔබට එය සකස් කිරීමට සිදුවුවහොත් එයින් ඔබට සත්කාර කිරීමේ කාර්යයට එය බාධාවක් වන අතර එමඟින් සේවාදායකයාද අපහසුතාවට පත්වනු ඇත.

එමෙන්ම ඔබේ දෑත්වල ආභරණ දමා ඇත්නම් ඔබට පහසුවෙන් කාර්යය කිරීම සඳහා ඒවා ඉවත් කර ප්‍රතිකාරය කිරීමට සූදානම් වන්න. පහසු ඇඳුම් විලාසිතාවක් ඇඳීමට මෙන්ම ඒප්‍රන් දමා ඔබගේ කාර්යය පිළිවෙළට මෙන්ම නිසියාකාරයෙන් සිදු කිරීමට සූදානම් වන්න.

ඔබගේ දෑත් පිරිසුදුව තිබීම සහ නියපොතු කෙටිව කපා තිබීම තවත් සැලකිලිමත් විය යුතු කාරණයකි. එසේ නොවුවහොත් සේවාදායකයාගේ හිස්කබලට සම්බාහනයේදී හානිවීමට පුළුවනි. ඒ නියපොතු නිසා වන සිරීම් නිසාවෙනි.

සේවාදායකයාව ටොනික් සත්කාරයට සූදානම් කිරීම

සේවාදායකයා ආභරණ දමා ඇත්නම් ඒවා ආරක්ෂිතව ඉවත් කිරීමට ඔබ උපදෙස් දිය යුතුයි. නැතිනම් භාවිත කරන ටොනික් වර්ග ආභරණ සමඟ ප්‍රතික්‍රියා කර අසාත්මිකතා වුවද ඇතිවීමට ඉඩකඩ ඇත.

ඊළඟ පියවර වන්නේ සේවාදායකයාගේ කර වටා කේප් එකක් දැමීමයි. ටොනික් සත්කාරය හිසට සිදු කළද හිසට සහ කෙස්වලට බලපාන රුධිර නාළිකා ගෙල පෙදෙසේ, උරහිස්බාහුවල, පිට පෙදෙස දක්වා විහිදෙන බැවින් ගෙල දක්වා කේප් එක පලඳවා ආවරණය නොකොට ඇතැම් ක්‍රමවේදයන්වලදී උරහිස් නිරාවරණය වන ආකාරයට තුවා පැලඳවීමද අවශ්‍ය නම් සිදු කළ හැකියි.

ටොනික් සත්කාරයේදී ඔබ සිදු කරන සම්බාහන ක්‍රමවේදයේ ස්වභාවය අනුව ගෙල දක්වා කේප් එක දමන්නේද උරහිස් නිරාවරණය වන ආකාරයට තුවා පලඳවන්නේද යන්න තීරණය කළ හැකියි.

පසුව ටොනික් භාවිතයට පෙර සේවාදායකයාගේ කොණ්ඩය සූදානම් කිරීම කළ යුතු වේ. ඈත දැති සහිත පනාවක් භාවිත කර කොණ්ඩය කොටස් කර ක්‍රමානුකූලව පරිස්සමින් පීරාගන්න. එමෙන්ම කොණ්ඩය අවුල් හැර පීරාගත් පසු ටොනික් භාවිතයට පෙර කන් ආවරණ (වෙළෙඳපළෙන් මිලදී ගත හැකියි) දමා ගන්න.

ටොනික් ගල්වන්නේ කෙසේද?

ටොනික් ගැල්වීමේදී බඳුනකින් තවත් බඳුනකට හෝ බ්‍රෂ් වර්ග හෝ පුළුන් වැනි ආලේපනයට ආධාර කර ගන්නා කිසිදු දෙයක් භාවිත කරන්නේ නැත. එයට හේතුව වන්නේ ඉක්මනින් වාෂ්ප වන සුළු දෙයක් වන නිසායි.

එබැවින් හිසේ පිටුපස කොටසින් (නේප් කොටසින්) පටන්ගෙන ඉක්මනින් සහ ක්‍රමානුකූලව කොණ්ඩය කොටස් කර ගනිමින් හිස්කබලට ටොනික් ආලේප කිරීම සිදු කරන්න. මෙය ඉක්මනින් සිදු කිරීම අවශ්‍ය වන්නේ වාෂ්ප වන සුළු දියරයක් බැවිනි.

පසුව ආලේප කිරීම අවසන් වූ පසු ඇඟිලි තුඩු මඟින් මෘදු සම්බාහනයක් සිදු කර, සම්බාහනය ආරම්භ කරන්න. සම්බාහන ක්‍රම අනුගමනය කරමින් හිස සම්බාහනය කළ පසු දිගු කොණ්ඩයක් නම් සේවාදායකයාට ඇත්තේ එය උඩට කර සෙක්ෂන් ක්ලිප් රඳවාගෙන උරහිස් සහ පිට ප්‍රදේශයද අවශ්‍ය නම් සම්බාහනය කළ හැකියි.

හිසකෙස් සේදීම ඒ මොහොතේම කළ යුතුද?

ටොනික් සත්කාරයෙන් පසු කොණ්ඩය ලිහිල් කර නිදහසේ තැබිය හැකියි. දිනක් ගතවනතුරු හිසකෙස් සේදීම අවශ්‍ය වන්නේ නැත. බොහෝ නිෂ්පාදනවල ඉතා ප්‍රසන්න වූ ආකර්ෂණීය සුවඳ වර්ග අඩංගු වන අතර මානසික සැහැල්ලුව සඳහා එය මහත් රුකුලක් වනු ඇත.

මෙහි ඇලෙන සුළු බවක් නොමැති නිසා කුණු දූවිලි ආදිය හිස්කබලේ සහ කෙස්වල ඇලීමද සිදු වන්නේ නැත. ඒ නිසා සේවාදායකයාට අපහසුතාවට පත් නොවී මෙය කෙස් මත රඳවා තබා ගැනීම පහසුවේ.

Tharunie