Monday, June 15, 2026
Follow Us
හවස තේ එකට coffee cake

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු වූ මොහොතක රස බලන්නත් ආදරණීය පුංචි සැමරුමකටත් රසවත් කේක් එකක්.

කෝපි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

කේක් මිශ්‍රණය සඳහා

බටර් ග්‍රෑම් 150ක්

සීනි ග්‍රෑම් 150ක්

ලොකු බිත්තර 03ක්

කේක් පිටි ග්‍රෑම් 150ක්

වැනිලා / කෝපි එසෙන්ස් තේ හැඳි 01ක්

ක්ෂණික කෝපි තේ හැඳි 02ක්

බේකිං පවුඩර් තේ හැඳි 01ක්

උණු වතුර මේස හැඳි 02ක්

කෝපි අයිසිං සඳහා

බටර් ග්‍රෑම් 100ක්

අයිසිං සීනි ග්‍රෑම් 250ක්

ක්ෂණික කෝපි තේ හැඳි 02ක්

උණු වතුර මේස හැඳි 01ක්

සැරසීමට කජු

සාදන ක්‍රමය

කෝපිවලට උණු වතුර එකතු කර හොඳින් දිය කර ඒ ටික නිවෙන්න පැත්තකින් තියාගන්න.

බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න. සුදු මද ටික හොඳට බීට් වුණාට පසුව ඒ ටිකත් පැත්තකින් තියා ගන්න.

වෙනමම භාජනයක බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් වෙනකම් බීට් කරන්න.

බටර් ටික හොඳට ක්‍රීම් වුණාට පස්සෙ බිත්තර කහ මද එක එක දාන ගමන් මිශ්‍රණය තව ටිකක් හොඳට බීට් කරන්න.

දැන් මේකට වැනිලා ටිකයි කලින් හදා ගත්ත කෝපි ටිකයි දා ගන්න. ඔයාලගේ කෝපි එකේ කෝපි කුඩු තියෙනවානම් පෙරා ගන්න.

ඊළඟට පිටියි, බේකිං පවුඩර් ටිකයි එකට කලවම් කරන්න. මේ පිටිවලින් ටික ටික බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.

අන්තිමට කලින් බීට් කර ගත්ත බිත්තර සුදු මද ටික මේ මිශ්‍රණයට දාලා හෙමින් සැරේ කලවම් කර ගන්න.

Tharunie

දැන් මේ කේක් මිශ්‍රණය බේකිං ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 180 ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 35ක් විතර බේක් කර ගන්න. කෝපි අයිසිං එක හදන්න මුලින්ම කෝපි ටික උණු වතුරත් එක්ක දිය කර නිමෙන්න තියන්න.

බටර් ටික ළා පාටට එනකම් හොඳට බීට් කර ගන්න. බීට් කර ගත්ත බටර් එකට හලා ගත්ත අයිසිං සීනි එකෙන් භාගයක් දමා කලවම් කරන්න. අයිසිං සීනි ටික හොඳට කලවම් කරගෙන ඉවර වෙලා කලින් හදා ගත්ත කෝපි ටික දා ගන්න. කේක් එකට කෝපි දානකොට කලවම් කළා වගේම මෙතැනදීත් කෝපි එකේ කෝපි කුඩු ති‍ෙයනවානම් ඒ ටික පෙරලා අර ගන්න. ඉතුරු අයිසිං සීනි ටිකත් මේකටම දමා කලවම් කරන්න.

කේක් එක හරි මැදින් හරහට කපලා කෑලි දෙකකට වෙන් කර ගන්න. එක කෑල්ලක් උඩින් අයිසිං ගාලා අනිත් කේක් කෑල්ල මේකට උඩින් තියා ගන්න. දැන් මුළු කේක් එකම අයිසිංවලින් කවර් කර ගන්න. දැන් ඉතින් ඔයාලට පුළුවන් මේ කේක් එක කැමති විදිහකට අයිසිං කර ගන්න. කේක් එක අයිසිං කරලා ඉවර වෙලා තව ටිකක් ලස්සන වෙන්න පොඩියට කපා ගත්ත කජු කෑලි ටිකකුත් කේක් එකට උඩින් දා ගන්න