Thursday, April 02, 2026
Follow Us
ගුණ පිරි හබල පෙතිවලින් සැණින් හදන තල මිශ්‍ර අග්ගලා

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු, තේ පානය කරන වේලාවට මෙන්ම දරුවන්ගේ අමතර ආහාරයක් ලෙස ද ඉතා ගැළපෙන අපූරු කෑමකි.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හෝ රතු හබල පෙති පීරිසි කෝප්පයක්

ගා ගත් පොල් මිටක්

සීනි (ඔබේ රස පදමට)

තල ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම හබල පෙති භාජනයකට දමා මඳ රස්නය ඇති වතුර ස්වල්පයක් එක් කර විනාඩි 2ක් පමණ තිබෙන්නට හරින්න. (මෙහිදී භාජනය වසා තැබීම අවශ්‍ය නොවන අතර, හබල පෙති දිය වී යාමට පෙර ජලයෙන් ඉවතට ගැනීමට වගබලා ගන්න.)

ඉන්පසු වතුර හොඳින් මිරිකා හබල පෙති ටික පසෙකින් තබන්න. දැන් එම හබල පෙතිවලට ගා ගත් පොල්, සීනි සහ ලුණු ස්වල්පයක් දමා අතින් හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය කුඩා බෝල (අග්ගලා) ලෙස සකස් කර ගන්න. අවසානයේ යන්තම් කබලේ බැදගත් තල පිඟානකට දමා, සාදාගත් හබල පෙති බෝල එකින් එක එහි දවටා අලංකාරව පිළිගන්වන්න.

ඉතා අඩු පිරිවැයකින් සහ නිර්මාණශීලිව නිවෙසේදීම සාදාගත හැකි මෙම පෝෂණීය අතුරුපස ඔබේ පවුලේ සැමට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි.

Tharunie