Saturday, July 18, 2026
Follow Us
පයිප් ක්ලීනර්වලින් පිපෙන ටියුලිප් අලංකාරය

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නි‍වෙස් අලංකාරයට නව පෙනුමක් එක් කරන විසිතුරු පැළයක් නිර්මාණය කිරීම විනෝදාත්මක මෙන්ම පහසු අත්දැකීමකි.

වර්ණවත් කූරු කිහිපයක් ඔබේ දෑත්වලින් ජීවමාන පැළයක හැඩය ගන්නා අයුරු දැකීම සැබැවින්ම අපූරු අත්දැකීමකි. එසේ නම් අද අපි බලමු පයිප් ක්ලීනර් භාවිතයෙන් නි‍වෙසේ ඕනෑම තැනක් සරසන ලස්සන විසිතුරු පැළයක් සාදා ගන්නා ආකාරය.

අවශ්‍ය අමුද්‍රව්‍ය

ළා කොළ පැහැති පයිප් ක්ලීනර්ස්

ක්‍රීම් පැහැති පයිප් ක්ලීනර්ස්

දුඹුරු පැහැති පයිප් ක්ලීනර්ස්

රතු පැහැති පයිප් ක්ලීනර්ස්

කුඩා ප්ලාස්ටික් මල් බඳුනක්

ඩ්‍රයිෆෝම් කැබැල්ලක්

කම්බි

ග්‍රීන් ටේප්

ග්ලූ ගන් සහ ග්ලූ ස්ටික්

කතුරක්

කොළ සාදා ගන්නා ආකාරය

පළමුව ළා කොළ පැහැති පයිප් ක්ලීනර් දෙකක් ගෙන එකට තබා මැදින් නවන්න. ඉන්පසු ක්‍රීම් පැහැති පයිප් ක්ලීනර් එකක් ගෙන එයද දෙකට නවා, කලින් නවාගත් ළා කොළ පයිප් ක්ලීනර් දෙක අතරට දමා ඉහළින් අඹරවා සවි කරගන්න.

දැන් අතින් සකස් කරමින් කොළයක හැඩය ලබා දෙන්න. අවසානයේ යටින් ගැටයක් ගසා කොළය සවි කරගන්න. මේ ආකාරයට ඔබට අවශ්‍ය ප්‍රමාණයට කොළ සකස් කරගත හැකිය.

ටියුලිප් මල සකස් කරගන්නා ආකාරය

රතු පැහැති පයිප් ක්ලීනර් එකක් ගෙන එය දෙකට කපා ගන්න. ඉන්පසු එක් කොටසක් මැදින් නවා, අනෙක් කොටසද මැදින් නවා ඒ අතරින් දමා මල් පෙත්තක හැඩයට සකස් කර යටින් අඹරවා ගැටයක් ගසා සවි කරගන්න.

එක් මලක් සඳහා මෙලෙස පෙති අටක් සකස් කළ යුතුය. ඉන්පසු රූපයේ පෙන්වා ඇති ආකාරයට පෙති එකින් එක කම්බියට ග්ලූ ගන් භාවිතයෙන් අලවා ගන්න. අවසානයේ ග්‍රීන් ටේප් භාවිතයෙන් කම්බිය වටා ඔතා ස්වභාවික මල් කඳක ආකාරයට නිමාව සකස් කරන්න.

මේ ආකාරයට මල් කිහිපයක් සකස් කර තබා ගන්න.

මල් බඳුන සම්පූර්ණ කිරීම

මුලින් සකස් කරගත් කොළ එකින් එක ස්වාභාවික ලෙස පෙනෙන ආකාරයට ගම් භාවිතයෙන් අලවා ගන්න. ඉන්පසු එම කොළ අතරට සාදාගත් ටියුලිප් මල් කිනිති එකතු කර සවි කරන්න.

දැන් සකස් කළ මල් කිනිත්ත මල් බඳුන තුළ තබා, ඩ්‍රයිෆෝම් කැබැල්ල කුඩා කොටස්වලට කපා මල් නොසෙල්වෙන ලෙස බඳුන තුළ තදකර අලවන්න.

ඉන්පසු බඳුනේ පිටත කොටස දුඹුරු පැහැති පයිප් ක්ලීනර් භාවිතයෙන් ඉහළ සිට පහළට සිරස් අතට ආවරණය කරන්න. බඳුනේ යට කොටස ද දුඹුරු පයිප් ක්ලීනර් දඟරයක් ආකාරයට සකස් කර වසා දමන්න.

අවසානයේ ඩ්‍රයිෆෝම් කොටස සම්පූර්ණයෙන් වැසෙන පරිදි ළා කොළ පැහැති පයිප් ක්ලීනර් දඟරයක් ආකාරයට බඳුනේ ඇතුළත උඩ කොටස ආවරණය කරන්න.

මෙලෙස සරල පියවර කිහිපයක් අනුගමනය කර ඔබේ නි‍ෙවස, කාර්යාලය හැඩ හෝ තෑග්ගක් ලෙස ලබා දිය හැකි අලංකාර ටියුලිප් මල් බඳුනක් ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකිය. වියළී නොයන මේ මල් නිර්මාණය දිගු කාලයක් ඔබේ නි‍ෙවසට නැවුම් වර්ණයක් සහ අලංකාරයක් එක් කරනු ඇත.

Tharunie