ශ්‍රී ලංකාව තුල ආපදාවලින් තොර පරිසරයක් සකස් කිරීම වෙනුවෙන් ස්ථාපිත, ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය’ තාක්ෂණ සේවා සපයමින් පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් ලෙස දිවයින පුරා සිය සේවා දායකත්වය ලබාදෙමින් සිටි.
පොදුජන ජීවිතය හා බැදුණු මානව ජනාවාසකරණ සැලසුම්කරණය, නායයාම සහ ඒ ආශ්‍රිත භූ විද්‍යාත්මක උවදුරු ඇතුලු තත්වයන්වලදී සිය විශේෂඥ දැනුම සහ කාර්යභාරය ඉටුකරමින් පර්යේෂණ ආයතනයක් ලෙස නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
“උවදුරු අවදානම අඩු කිරීම” යන ප්‍රධාන අරමුණ මත පිහිටා සිය සේවාවන් ඉටුකරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී ඒ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් සිටියි.
2025 වසරේදී ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් දිවයිනේ මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියට බරපතල හානි සිදුවිය. එම සියලු මාර්ග නිත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අවශ්‍ය තාක්ෂණික දැනුම හා විශේෂඥ සේවා ලබාදීම කඩිනම් කර ඇත. හානි වූ දුම්රිය මාර්ග හා මහාමාර්ග පිළිබද විධිමත් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකර එම වාර්තා මත පදනම්ව ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් එම ආයතන ඒකාබද්ධව සකස්කර ඇත. එම වැඩපිළිවෙල යටතේ දුම්රිය හා මහාමාර්ග පද්ධති නැවත ප්‍රතිසංස්කරණයේදී ස්ථාවර හා ආරක්ෂිතව ඉදිකිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා පදනම් කරගෙන සිදු කිරීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් බැහැරකර ගැනීමට හැකියාව සැලසෙනු ඇත.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 පිහිටි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කඩිනම් මැදිහත්වීම තුල මාර්ග සංවර්ධන අධිකාරියත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් සිදුකරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඉදිකිරීම් ඉලක්කයන් නියමිත දින වකවානුවලට සිදුකර ගැනීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡාවට බදුන් විය. රජය විසින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබියදීත් දිට්වා හානි මාර්ග ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ජනතාව නගන විවේචන හා චෝදනාවන්ට පාදක වී ඇති සේවා ප්‍රමාදයන් අවමකර, සංවර්ධන ක්‍රියාවලිය වේගවත් අයුරින් සිදු කිරීමට ආයතන සම්බන්ධීකරණය මේ යටතේ සිදුකර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ දැනුම යොදා ගනිමින් ස්ථාවර ව්‍යාපෘති සිදුකර ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් යථාවත් කිරීමට මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ අනුව අවස්ථාව ලැබේ.
ඒකාබද්ධ පරීක්ෂණ මගින් තහවුරු වී ඇති මහාමාර්ගවල නායයාම් 400 ක පමණ සංඛ්‍යාවකට අදාලව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව නිර්මාණ කටයුතු සිදුකර විධිමත් මාර්ග පද්ධතියක් කඩිනමින් ගොඩනැගීමට කටයුතු සම්පාදනය කර ඇත. එමෙන්ම දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානි 70 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 22 ක් දැඩි හානි බව අදාල වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ප්‍රතිසංස්කරණ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව නිර්මාණ කටයුතු ආරම්භ කර ඇත. මෙම ඒකාබද්ධ වැඩපිළිවෙලට අවශ්‍ය භූ විද්‍යාත්මක තත්ත්ව වාර්තා සියල්ල ඉදිරි මාර්තු 31 වන දිනට පෙර ලබාදීමට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිය එකගතාව පළකර ඇත.
මෙම අවස්ථාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ආචාර්ය ගාමිණී ජයතිස්ස (අධ්‍යක්ෂ – නායයාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය), ඉංජිනේරු විරාජ් ඩයස් (ව්‍යාපෘති අධ්‍යක්ෂ), ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය මිහිර ලක්රුවන්, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය සංචිත ජයකොඩි, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක, මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. කේ. අබේධීර යන මහත්වරු ඇතුලු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.