පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම වෙනුවෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල රජය තීරණය කර තිබේ.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගාල විදේශ ඇමැති පෝල් රැන්ගල් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා හමුවී පැවති නිල සාකච්ඡාවේදී පෘතුගාල විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පෘතුගීසි පාලනය සමයේදී ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම පිළිබඳව ඇමැති විජිත හේරත් මහතා කළ යෝජනාවට එකඟතාව පළ කරමින් එරට විදේශ ඇමැතිවරයා මෙය පිළිගත යුතු යෝජනාවක් බවත් මේ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීමට ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට එකඟතාව පළ කරන බවත් පැවසීය.
දැනට ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර අත්සන් කර ඇති සංස්කෘතික ගිවිසුම බලාත්මකකර මීට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය. එමෙන්ම පෘතුගාලය සඳහා වීසා ලබා ගැනීමේදී ශ්‍රී ලාංකිකයන් නවදිල්ලියට යෑමට සිදුවීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මඟහරවා ගැනීමට පහසු යන්ත්‍රණයක් සකස් කරන ලෙස ද ඇමැති විජිත හේරත් මහතා යෝජනා කළ අතර මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පෝල් රැන්ගල් මහතා පොරොන්දු විය.
දෙරටේ ඓතිහාසික සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් සංස්කෘතික හා මානව සබඳතා වර්ධනය කිරීමටත් විදේශ අමාත්‍යවරු දෙපළ අතර පැවති මෙම නිල හමුවේදී සාකච්ඡා විය. පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ආයෝජන, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත් දෙරට අතර වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එකඟ විය.
සියලු ක්ෂේත්රවල සබඳතා වර්ධනය කරගැනීමට දේශපාලන සංවාද යන්ත්‍රණයක් ඇරඹීමේ වැදගත්කම ද දෙපාර්ශ්වයම අවධාරණය කළහ. කලාපීය හා ගෝලීය වශයෙන් දෙරටටම වැදගත් මාතෘකා පිළිබඳව ද සාකච්ඡා විය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කටයුතු කිරීමේදී දෙරට අතර පවත්නා සහයෝගය අඛණ්ඩව පවත්වා ගැනීමටත් මෙහිදී එකඟ විය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු හදිසි ආපදා සහන සැලසීම සඳහා පෘතුගාලය සිදු කළ උපකාර වෙනුවෙන් ද ඇමැති විජිත හේරත් මහතා මෙහිදී කෘතඥතාව පළ කළේය. නැවත ගොඩනැඟීමේ කාර්යයට තවදුරටත් පෘතුගාලයේ සහාය ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව ද පෙන්වා දුන්නේ ය.