මෙරට දරුණු ප්‍රහාරයක් ලෙස පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) උදෑසන අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා පැය 72ක රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන විමර්ශන පවත්වයි.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවටගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ බව පොලීසිය පෙන්වා දෙයි.
ඒ අනුව පොලිස් අධිකාරීවරයකුගේ නියෝග මත දින තුනක කාලයක් (පැය 72ක්) රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නීත්‍යනුකූල අවකාශය පවතින බව පොලීසිය සඳහන් කරයි.
එම කාලය තුළ අනාවරණය වන කරුණු සහ සාක්ෂි මත ඉදිරි විමර්ශන කටයුතු සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කළේය.