ආසියානු ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ මේ බව නිල වශයෙන් දැනුම් දුන්නා.
20 – 20 ආකෘතියෙන් පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලියට මෙවර කණ්ඩායම් 8 ක් ඇතුළත්. මීට පෙර ආසියානු කුසලානයට සහභාගි වූයේ කණ්ඩායම් 6 ක් පමණයි.
ආසියාවේ නැගී එන කණ්ඩායම් දෙකක් සඳහා ද මෙවර අවස්ථාව ලබාදීම පිණිස මෙම තීරණය ගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙනවා.
A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින්නේ B කාණ්ඩයෙන්.
බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං ඊට ඇතුළත් සෙසු කණ්ඩායම්. ඉන්දියාව, පකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමාන යන කණ්ඩායම්, A කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය පළමු තරගය ලෙස සහභාගි වන්නේ සැප්තැම්බර් මස 13 වැනිදා බංග්ලාදේශය සමග තරගයකටයි.
අනතුරුව, 15 වැනිදා හොංකොං කණ්ඩායම සමගත් 18 වැනිදා ඇෆ්ගනිස්තානය සමගත් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 28 වැනි දිනයි.