අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී පැවැත්විණි.
මෙහිදී අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි.
පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි දෙවන වැඩසටහන දකුණු පළාතේ සහ තුන්වන වැඩසටහන නැගෙනහිර පළාතේදී ක්‍රියාත්මක කෙරිණි. ඉදිරියේදී අනෙකුත් පළාත්වලද වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.
මෙහිදී අදහස් දැක්වූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ මේ වන විට ජනාධිපති අරමුදල එහි සහාය අවශ්‍ය කිසිවකු අතහැර නොමැති බවත්, එහිදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්ය. ජනාධිපති අරමුදල කිසිවකුගේ පෞද්ගලික අරමුදලක් නොවන අතර, එය රටේ ජනතාවගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන අරමුදලක් බව පෙන්වා දුන් කතානායකවරයා එබැවින් එහි ප්‍රතිලාභ සැලසිය යුත්තේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහාම පමණක් බවද සඳහන් කළේය.
වරප්‍රසාද පංතියේ අය වෙනුවෙන් වෙන් වී තිබූ ජනාධිපති අරමුදල පුනරුද යුගයේදි ජනතාව වෙනුවෙන් කැපවූ ආයතනයක් බවට පත් කළ බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදී කියා සිටියේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පරරාජසිංහම් ප්‍රදීපන්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් යන මහත්ම මහත්මීහු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.