Sunday, July 20, 2025
Follow Us
පුංචි සිතට තනි රකිනා බෝනිකි පැටියා

චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හිතන් ඉන්න ආදරණීය ඔබටත් මෙය කදිම අවස්ථාවකි.

අවශ්‍ය අමුද්‍රව්‍ය :

පතරොමක්

ෆෙල්ට් රෙදි ( හෝ ඕනෑම ඇදෙන සුළු රෙදි වර්ගයක් )

පැඩින්

බෝනික්කන් සඳහා භාවිත කරන ඇස් හෝ කළු රවුම් හැඩැති බොත්තම් 2

වූල්

කැරලි නූල්

සාමාන්‍ය අතේ මහන ඉදිකටුවක් සහ ඊට ටිකක් දිගින් වැඩි ඉඳිකටුවක්

කතුරක්

ගම්

නිර්මාණය සාදාගන්නා ආකාරය :

* පළමුව කැමැති ලෙස පතරොම් සකසා ගන්න.

* දෙවනුව එම අදාළ පතොරම් කොටස්වලට රෙදි කොටස් කපාගන්න . මැහුම් වාසි සඳහා අඟල් කාලක පමණ ප්‍රමාණයක් තබා කපාගන්න.

* එම රෙදි කොටස් හොඳ පිටට හොඳ පිට තබා මැෂින් එකෙන් මසාගන්න. සියලුම කොටස් මසන විට මූට්ටුවෙන් කුඩා විවරයක් තබා මසාගන්න. (විවරය පැඩින් පිරවීම සඳහා)

*මැසූ සියලු කොටස් විවරය අසලින් හොඳ පිටට හරවා ගන්න.

* ඉන්පසු විවරය තැබූ ස්ථානයෙන් හොඳින් පිරෙන පරිදි ඇතුළට පැඩින් පුරවාගන්න.

* පැඩින් පුරවා අවසන් වූ සියලු කොටස්වල විවරය පිටට නොපෙනෙන සේ අතින් මසාගන්න.

* බෝනික්කාගේ මුහුණ කොටස ගෙන එහි ඇස් තබන ස්ථාන පැන්සලකින් තිතක් තබා හිස කොටස පිටුපසට වන්නට නූලක් ඇද මසාගන්න .

* පසුව ඇස් අලවා මුහුණේ ඉතිරි කොටස් (ඇහිබැම, ඇස් පිහාටු) සම්පූර්ණ කරගන්න. මේ සඳහා කැරළි නූල් භාවිත කරන්න.

* ඉන්පසුව ඡායාරූපයේ පරිදි මුහුණ කොටස කඳ කොටසට සම්බන්ධ කරගන්න. ඊට පසුව අත් සහ පාද කොටස් ද කඳ කොටසට තබා පිටට මැහුම් නොපෙනෙන සේ දිග ඉදිකටුව භාවිත කර අතින් මසාගන්න.

* ඉන්පසුව බෝනික්කාගේ හිස සඳහා තොප්පියක් නිර්මාණය කර, එය හිසට තබා ඇතුළතින් අලවාගන්න.

එසේ නොමැතිනම් වූල් භාවිත කර සම්පූර්ණ පිටුපස හිස කොටස සහ ඉදිරි නළල කොටස වැසෙන සේ තබා කොණ්ඩයක් ලෙසින් අතින් මසාගන්න.

(ගැළපෙන කැමැති වර්ණයක වූල් භාවිත කරන්න.)

* පරිදි මුව සඳහා සූප්පුවක් සාදා මුවට තබා අලවාගන්න.

එසේ නොමැතිනම් කැරළි නූල් භාවිත කර මුව මසාගන්න.

* අත් සහ පාදවල ඇඟිලි මතුකර ගැනීමට සාමාන්‍ය මැෂින් නූල් භාවිත කර නූල් ඇද ඇඟිලි මතුකර ගන්න.

* නිර්මාණය අවසානයේ දී බෝනික්කා සඳහා කැමැති ආකාරයක ලස්සන ඇඳුමක් අන්දවා නිර්මාණය අවසන් කරගන්න.