Monday, April 29, 2024
Follow Us
අවුරුදු තිළිණයට සුවඳත් එළියත් විහිදුවන ලෑම්ප් ෂේඩ් එකක් දෙමු ද?

අදින් ආරම්භ වූ අලුත් අවුරුදු මාසයේ වසන්ත සමය උදා වෙලා. ගහකොළ මලින්, ඵලින් බර වෙලා. හැමෝගෙම හිත් සතුටින් පිරෙන්නයි ඕනෙ. කොහොමත් ජීවිතයේ හැමදාම කුණාටු එන්නේ නැහැ. හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා.

ඉවසලා ඉන්න. ලස්නන දවස් එනවා. සතුටින් හිනා වෙලා ජීවිතේ විඳින දවස් එනවා. ඔයාවම විශ්වාස කරන්න. ඔයා ඔයා වෙනුවෙන්ම නැඟිටින්න.

ඉවසලා ඉන්න. ලස්සන දවස් එනවා. සතුටින් හිනා වෙලා ජීවිතේ විඳින දවස් එනවා. ඔයාවම විශ්වාස කරන්න. ඔයා ඔයා වෙනුවෙන්ම නැඟිටින්න. නරකම දවස් වුණත් තියෙන්නේ පැය 24ක් විතරයි. මල් කලාව එක්ක කාලය ගත කරන ඔයාට නරක, අවලස්සන දවස් නැහැ. ඉතින් දවසින් දවස සතියෙන් සතිය වියළි මල් කලාවෙන් ඔබ අපූරුවට ජීවිතය හැඩකර ගත්තා නේද?

ආත්මවිශ්වාසයත් එක්ක යන මේ ගමනේ දැනටම ඔබ හොඳ ව්‍යවසායකයෙක්. ඒකෙන්ම සතුටු වළල්ලක් හදාගන්න. තමන්ට කියලා තියෙන මොකක්ම හරි දෙයක් ගැන හිතලා, මොකක්ම හරි දෙයක් දැකලා සතුටු වෙන්න සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න. පුංචිම දේකින් නිර්මාණ කලාවට පිවිසෙන්න. එතකොට ඒ පුංචි දෙයින් සතුටු වළල්ලක් හදාගන්න පුළුවන්.

සතුට කියන්නෙ බෝවීමක්. වයිබ් එකක්. නිතර සතුටින් ඉන්න මිනිස්සු එක්ක ඉන්නකොට ඔයාටත් සතුටු හිතෙනවා.

ඔයාගේ අවට පරිසරයෙන් නොමිලයේම සතුට උපයන හැටියි මේ කියන්නේ. නිදහසේ වත්ත පහළ ඇවිදිලා යනකොට හමුවන ඉවතලන ලී කොටු, වැල්, පුංචි ගෙඩි අහුලා ගන්න. ඔයාගෙ ජීවිතේ හොයන සැනසීම මේ දේවල් එක්ක එකතුකර ගන්න. කිසිදු මිලක් වැය නොකොට සල්ලි උල්පතක් පාදාගන්නා මඟටයි මේ දිනෙන් දින ඔබව කැඳවාගෙන යන්නේ.

ලබන්නා වූ අලුත් අවුරුද්දේ වියළි මලින් ජීවිතය හැඩ පමණක් නොව සුවඳවත් කරගන්න මෙන්න කදිම නිර්මාණයක්.

අද අපි අවුරුදු සිරියත් ළඟ එන නිසා වඩාත් අලංකාර නිර්මාණයක් කරන්න තීරණය කළා. ඒ සඳහා අවශ්‍යවන ප්‍රබලම අමුද්‍රව්‍ය ලී කොටයයි. ඔබ ලී කොටයක් තෝරා ගැනීමේදී ලස්සන හැඩතල ඇති කොටයක් තෝරා ගන්න. රවුම්, හතරැස්, ත්‍රිෙකා්ණාකාර යන ඕනෑම හැඩයක් ඔබේ තේරීම විය හැකියි.

මේ අගනා ලෑම්ප් ෂේඩ් (Lamp Shade) එකකි. මුලින්ම ඔබ තෝරා ගත් ලී කොට කැබැල්ල බ්‍රෂ්කර ගන්න. නැතිනම් ග්ලූගන් යෙදීමේදී ඇලවීමට නොහැකි වේවි. දැන් ඔබ නිර්මාණයේ හැඩය සහ ප්‍රමාණය තීරණය කරන්න. වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි වීදුරු බුබුලක් හෝ කැමැති ඕනෑම හැඩයක් මෙහි ආලෝකය විහිදුවා ගැනීමට යොදා ගන්න පුළුවන්. එහි ඇතුළත ඇති වර්ණය මාරුකර ගැනීමට හැකි පරිදි මතුපිටට අවශ්‍ය මල්,කොළ ආදී වියළි කොටස් අලවාගන්න. මෙය නිර්මාණය කරගෙන යන අතරතුර වීදුරුව අනාරක්ෂිතයි කියා ඔබට හැඟේ නම් වීදුරුව පසෙකින් තබා නිර්මාණය කරගෙන යන්න.

ඔබ මීට පෙර ඉගෙන ගත් වර්ණ සංකලනය ගැන යළිත් මතක්කර ගන්න. ඒ අනුව අවස්ථානුකූලව වර්ණ ගලපාගෙන නිර්මාණය සිදු කරන්න. ඔබ මේ නිර්මාණය භාවිත කරනුයේ රාත්‍රී කාලයේ ද, දවල් කාලයේද, සැඳෑ කාලයකදී කාල වේලාව තීරණයකර ඒ පරිසරය පිළිබඳවත් සිතා බලා වර්ණ සංකලනයකර ගන්න.

දැන් නැවතත් පසෙකින් තබා ගත් වීදුරුව නිර්මාණයට එකතුකර ගන්න. ඔබ නිර්මාණය සිදු කිරීමේදී ඩ්‍රයි ෆෝම් කොටසක් යොදා ගත යුතු අතර එය කිසිදු විටෙකත් නිර්මාණයේ නිමාවට විවෘත නොවීමට වගබලා ගන්න.

දැන් මේ ලස්සන නිර්මාණය සුවඳ කරන්න පුළුවන්. ඒ සඳහා සුවඳ හඳුන්කූරක්, ඉටිපන්දමක් යොදා ගත හැකියි. ඒ වගේම නිර්මාණයේ කල් පැවැත්මට වාර්නිෂ් ස්ප්‍රේ කරන්නත් හැකියි.

අවසානයට කොට කැබැල්ලේ වාටිය අලංකාරයකර ගන්න. කොට කැබැල්ල උස වැඩිකර ගැනීමට අවශ්‍ය යැයි සිතුණහොත් ඔබ යොදාගත් කොට කැබැල්ලටම ගැළපෙන කොටසක් එයට යටින් තබා ගන්න.

 

Tharunie