Wednesday, May 01, 2024
Follow Us
කාලයේ තාලයට ක්‍රොස් ඕවර් බ්ලවුසයක්

මේ ක්‍රොස් ඕවර් බ්ලවුසයකි.

කාලයේ තාලයට විලාසිතා සොයනා දියණියන්ට කදිමයි. ඩෙනිම් කලිසමකට ගළපාගෙන ඇඳිය හැකියි. යෙහෙළියන් සමඟ විනෝදවීමේ දී, අමතර පන්ති යාමේදී එහෙමත් නැත්නම් පුංචි සාදයකට වුව මෙය ඇඳගෙන යා හැකියි.

මේ බ්ලවුසයට මෙන්න අවශ්‍ය මිමි:-

* උර හිස අඟල් 15 1/2

* කර වට අඟල් 14

* ඉණ දක්වා උස 17

* පපුව වට අඟල් 39

* ඉණ වට අඟල් 32

* අත උස අඟල් 17

* කැප් උස අඟල් 4

* අතඅග වට අඟල් 9

* පතරොමේ අත්කට අඟල් 10

* කප් උස අඟල් 3

 

මෙම ක්‍රොස් බ්ලවුසයකි සඳහා ඔබට ගැළපෙන රෙදි වර්ගයක් තෝරා ගන්න පුළුවන්. ඇඳුම සඳහා මිමි ගැනීමේදී මඳක් බුරුලට මැන ගන්න.

බ්ලවුසය සාදා ගැනිම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4

ක් පහත්කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අදින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇද අත්කට වක්‍රය අදින්න.

පසුපස

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපාගන්න .

අත

අත සඳහා රෙදිකොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යාකරන්න.

අත අග රැලි කරන්නේනම් රැලි සඳහා අඟල් 2ක් පමණ එකතුකර ගන්න. එය F රේඛාවෙන් පෙන්වා ඇත.

අත අගට කප් එක යොදන්නේ නම් අතේ උසින් එම උස අඩුකර අත සාදා ගන්න. කප් එක සඳහා අවශ්‍ය උසට හා අත අග මිම්මේ දිගට මැහුම්වාසි එකතුකර ගන්න. අවශ්‍ය උස මෙන් දෙගුණයකට රෙදි කපාගන්න.

කරට ඇති බැන්ඩ් කොටස සඳහා බයස් පටියක් භාවිත කරන්න. එය ත්‍රිකෝණාකාරව නවා අඟල් 1 1/2 පමණවන ලෙස උසද කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණය ට දිගද ගන්න.

මෙන්න මෙහෙම පියවරෙන් පියවර මසා ගනිමු.

* උරහිස මසන්න.

* අත අල්ලාගන්න.

* කරට බයස් පටිය අල්ලාගන්න.

* අංශය මසන්න.

*වාටිය මසන්න.

 

Tharunie