Wednesday, May 01, 2024
Follow Us
රෝස කුමාරිට කදිම ගවුමක්

මේ ලස්සන රෝස පැහැති ගවුම් පොඩිය දෝණිව හැඩ කරන්න කදිමයි. පුංචි දෝණිට නිතරම සැහැල්ලු ඇඳුම් අන්දවන්න උත්සාහගන්නා ආදරණීය අම්මෙක් වන ඔබට මේ ගවුම දියණියට පහසුවෙන් මසා දිය හැකියි. අද කාලේ ගවුම් වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා නම් සෑහෙන්න මිල අධිකයි. එහෙත් පුංචි රෙදි කොටසක් මිලදී ගෙන එය ඔබේ දෑතින්ම මසා ගන්නේ නම් මුදල් පසුම්බියට ද හානියක් නොවේවි. අප ලබාදී ඇති මිමි ඔබේ දියණියට ගලපා ගනිමින් මේ ගවුම් පොඩිය මසා ගන්න උත්සහ ගන්නකෝ.

මෙන්න අවශ්‍ය මිමි

උරහිස අඟල් 11

කරවට අඟල් 12

කර ගැඹුර අඟල් 4

ඉණ දක්වා උස අඟල් 14

සාය උස අඟල් 25

පපුවවට අඟල් 26

ඉණවට අඟල් 24

පුංචි දියණිය ගේ ගවුම සඳහා සාය කොටස හා බ්ලවුසය කොටස වෙන වෙනම කපා ඇත. බ්ලවුසයේ උඩ කොටස සඳහා උරපටි භාවිතකර ඇත.

මෙන්න මෙහෙම මිමි සාදා ඇඳුම කපා ගනිමු.

ඉදිරිපස පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියෙ සිට අඟල් 1 1/2ක් ලකුණු කර නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂය්‍යට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාක මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

GI යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

අවශ්‍යකර ගැඹුර පහත්කර රූපසටහනේ පරිදි අත්කටට කර ගෙවී යන සේ අඳින්න.

උරපටිය සඳහා කරේ සිට උරහිසට උස බලන්න. C ලක්ෂ්‍යය සිට පටියට කෙළින් අඳින්න.

පසුපස

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මෙ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. පසුපස ද කර ගැඹුර ලකුණුකර ඉදිරිපස ආකාරයට කපාගන්න .

සාය

සාය මසා ඇත්තේ ඉණ රැලි කිරිමෙන් ය. ඒ සඳහා ඉණවට මෙන් දෙගුණයක් පමණවන ලෙස පළල ද අවශ්‍ය උසට මැහුම්වාසි එකතුකර උස ද ගෙන රෙදි කපාගන්න.

මෙහෙම මසාගන්න

* කරට උරපටිය තබා පේෂින් කර මසාගන්න.

* පසුපස ද පටිය තබා කර මසාගන්න

* සායෙ ඉණ රැලිකර බ්ලවුසයට අල්ලා ගන්න

*අංශය මසන්න.

*වාටිය මසන්න.

Tharunie