Wednesday, May 01, 2024
Follow Us
සිත බඳවන නෙතු රවටන සොඳුරුයි මේ කතිර රටා

දුටු පමණින් නෙත් සිත් වශී කරගන්නා ආකර්ෂණීය දසුන්වලට හිමිකම් කියනා කතිර රටා පෙළක අලුත් ආරම්භයයි මේ.

තරුණී මැහුම් - ගෙතුම්,අත්කම් විශේෂාංගය සඳහා දිනෙන් දින ලැබෙන ප්‍රතිචාර එන්න එන්නම වැඩියි. ඔබේ ඒ ආදරණීය දිරිගැන්වීමට කෘතගුණ සලකමින් තරුණී අපෙන් පිරිනැමෙන අපූරු තිළිණයකි මේ.

එදා මෙදාතුර අපව වැළඳගත් ආදරණීය මවුවරු සිය දියණියන්ට අපූරු දායාදයක් ලෙස තරුණී පිළිගන්වා ඇත. එවන් වූ ආදරණීය මවුවරුන්ට, දියණියන්ට වටිනාකමක් ගෙන දෙමින් ආධුනිකයන් වෙනුවෙන් මූලික හැඳින්වීමක් කිරීමෙන්ම කතිර රටා පෙළ නැවත ආරම්භ කරන්නට අපි සිතුවෙමු.

එහෙමනම් මුලින්ම බලමු කතිර මහන්න අවශ්‍ය වන්නේ මොනවාද කියලා.

රෙදි තෝරා ගැනීම

කතිර රටා සඳහා කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. ඒත් අපි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ අයිඩා රෙදියි. මෙම අයිඩා රෙදි අඟලට කොටු 8,11,14,16,18 හා 20 වශයෙන් කොටුවේ ප්‍රමාණ අනුව දක්නට ලැබේ. එහෙත් අපි කතිර රටා සඳහා භාවිතයට ගන්නේ අඟලට කොටු 11ක් සහ 14ක් ඇති අයිඩා රෙදිය.

මෙම අයිඩා රෙදි විවිධ වර්ණවලින් තෝරා ගත හැකියි. එනම් සුදු, කළු, ඇත්දළ පැහැය, නිල් ආදී වර්ණවලින්.

අඟලට කොටු 11ක් ලෙස අප හඳුන්වන්නේ රෙදි කොටසේ අඟලක් ගත් විට එනම් අඟලක දිගක් ලකුණු කළ විට එහි කොටු 11ක් තිබීමයි. එය වියමනක් ලෙස ඇති අතර ඔබට ගණන් කළ හැකියි. අඟලට කොටු 14ක් යනු රෙදි කොටසේ අඟලක දිගක් ලකුණු කළ විට එහි අපට ගණන් කළ හැකි ලෙස කොටු 14ක් තිබීමයි. ඊට අමතරව ඉන්දියන් ජාවා රෙදි, ප්ලාස්ටික් කැන්වස් රෙදි , ගෝනි රෙදි හා වූවන් වීව් රෙදි ද භාවිත කළ හැකියි.

එහෙත් ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ අපි කතිර රටා මැසීමේ දී භාවිත කරන ජනප්‍රියම රෙදි වර්ගය වන්නේ අඟලට කොටු 11ක් ඇති අයිඩා රෙද්ද බවයි.

රාමුව

කොටු හැඩයට මෙන්ම රවුම් හැඩයට ලීවලින් සහ ප්ලාස්ටික්වලින් නිමවන ලද රාමු ඇත. එමෙන්ම විවිධ ප්‍රමාණවලින් ද රාමු ඇති අතර ඔබගේ කැමැත්ත අනුව රාමු තෝරා ගන්න. හැබැයි කතිර රටා මැසීමට හොඳින් අත හුරු අයට රාමු අවශ්‍ය නොවේ.

නූල් වර්ග

කතිර රටාවන්ට සුන්දරවූත්, අලංකාර වූත් පෙනුමක් ගෙන දෙන්නේ කපු කැරලි නූල්ය. කැරැල්ලක පොටවල් හයක් ඇති අතර අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් පොටවල් දෙක බැගින් වෙන් කරගෙන ඉදිකටුවට නූල් අමුණා මසා ගත යුතුයි. ආපසු මැස්මෙන් අවුට් ලයින්(outline) කරගත යුතු ස්ථාන වේ නම් ඒ සඳහා භාවිත කළ යුත්තේ එක් නූල් පොටක් හෝ දෙකක් පමණි.

ප්‍රංශ ගැටවලින් මැසිය යුතු අවස්ථා ද වේ. ඒ සඳහා නූල් තුන් පොටක් භාවිත කරන්න. අඟලට කොටු 11ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් නූල් පොටවල් තුන බැගින් ඉදිකටුවට අමුණා කතිර මසා ගත යුතුයි. ඇතැම් අය නූල් පොටවල් හයම භාවිතකර මසන අවස්ථා ද වේ. කැරලි නූල් වෙළෙඳ නාම කිහිපයකින් ඇත. ඇන්කර්, ච්ර්ඛ් හා ඇපල් ලංකාවේ දී භාවිත කරයි.

ඉදිකටු

කතිර රටා මැසීමේ දී අප භාවිත කරන්නේ ටැපැස්ට්‍රි ඉදිකටුවයි. මේවා විවිධ ප්‍රමාණවලින් ඇති අතර වඩාත් සුදුසු වන්නේ නොම්බර 24 හා නොම්බර 26 ටැපැස්ට්‍රි ඉදිකටුය. නොම්බර 26 නොම්බර 24 ට වඩා ප්‍රමාණයෙන් කුඩාය. අඟලට කොටු 11 හා අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මැසීමේ දී වඩාත් සුදුසු වන්නේ නොම්බර 24 ටැපැස්ට්‍රි ඉදිකටුවයි. අඟලට කොටු 14 ට වඩා වැඩිනම් නොම්බර 26 ටැපැස්ට්‍රි ඉඳිකටුව භාවිත කළ හැකියි.

  

කතුරු 

වඩාත් සුන්දර කතිර නිර්මාණයක් නිමවා ගැනීම උදෙසා හොඳින් කැපෙන කුඩා එම්බ්‍රොයිඩරි (embroidery)  කතුරක් තෝරාගන්න.

------------------------------

නිවෙසම සරසන මල් බෝනික්කී

මල් පොකුරක් අතැති පුංචි කුමාරිකාවකි. මෙලෙසින් ඇයව කතිර මැස්මෙන් හැඩකර ගන්නේ නම් තවත් අපූරුවට පෙනේවි. ඔබේ පුංචි දෝණිගේ කාමරේ සරසන්න එසේත් නැතිනම් යෙහෙළියගේ උපන් දිනයට තිළිණ කරන්නත් මේ නිර්මාණය හරිම අපූරුයි.

මේ වාගේ නිර්මාණ කිහිපයකින් ඔබට පුංචි ස්වයං රැකියාවක් ආරම්භ කරන්නත් පුළුවනි. එසේනම් අපි බලමු කොහොමද මේ කතිර රටාව මසා ගන්නේ කියලා.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
 

අඟලට කොටු 10,11 හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26

ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කැරලි නූල්

ඉදිකටු

කතුරක්

නිර්මාණය කිරීම

මෙය අඟල් 16.87 × 23.04 ප්‍රමාණයේ නිර්මාණයකි. ඒ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් ය. ඔබ අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තවත් විශාල වේ. ( එබැවින් රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.) කොටු ගණන්කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. (රෙද්දේ අඟලට) ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 3ක් හෝ 6ක් භාවිත කරන්න.

Tharunie