Wednesday, May 01, 2024
Follow Us
අපූරු බිත්ති ඔරලෝසුවක්

පොඩ්ඩන්ගේ පාසල් නිවාඩුවත් අහවරයි. ඉතිං ආයෙමත් මේ දරුවෝ කාර්යබහුල ‍ෙවනවා. පොඩ්ඩන්ගේ පාසල් වැඩ කියලා දෙන ගමන් එයාලගේ නිර්මාණශීලී හැකියාව වැඩි දියුණු කරන්න පුංචි පුංචි අත්කම් ටිකක් කරලා බලමු ද?

පොඩ්ඩන්ගේ හිත එක තැනකට යොමුකරලා තියාගන්නත් එක් උපක්‍රමයක් තමයි මේ අත්කම් නිර්මාණ. අද මේ කියන්න යන අත්කම් වඩාත් ගැළපෙන්නේ අවුරුදු 4 - 8 වයස්වල දරුවන්ටයි.

මේ බිත්ති ඔරලෝසුව නිර්මාණය කරන්න හරිම පහසුයි. මේ සඳහා වර්ණ A4 කඩදාසි, සුදු බෝඩ් කොටසක්, කතුරක්, ගම්, පැන්සලක් අවශ්‍යයි. මෙහිදී මුලින්ම අඟල් 8 1/2 විශ්කම්භයකින් යුතු රවුමක් ඇද කපා ගන්න. නැතිනම් ඔබේ නිවෙසේ තිබෙන ඕනෑම රවුම් හැඩයෙන් යුතු දෙයක් භාවිතකර සුදු බෝඩ් කොටස මත තබා ඇද රවුම් හැඩය කපා ගන්න. නැවතත් එම කපාගත් රවුමට වඩා අඟලක් අඩුකර වටප්‍රමාණය පොඩි රවුමක් කපාගන්න. ඒ වගේම මෙහි ඉලක්කම් ඇඳ පෙන්වීම සඳහා කුඩා රවුම් 12ක් කපා ගන්න. මොන යම් හෝ රවුම් හැඩයකින් යුතු දෙයක් භාවිතකර ඇඳ කපා ගන්නත් පුළුවන්.

එම රවුම් A4 කඩදාසිවලින් කපා ගන්න. මෙහිදී වර්ණ භාවිත කිරීමේදී කුඩා දරුවන්ගේ ඇහැට ප්‍රිය වර්ණ භාවිත කරන්න. ඒ වගේම එම වර්ණයෙන්ම තවත් කුඩා රවුම් දෙකක් කපා ගන්න. මෙහිදී පැය කටුව හා මිනිත්තු කටුව සඳහා පින්තූරයේ පෙනෙන පරිදි කොටස් දෙක කපා ගන්න. එකක් දිගට සහ අනෙක කොටට කපා ගන්න. පළමුවෙන් සුදු බෝඩ් රවුම මත අනෙක් රවුම අලවා ගන්න. පසුව එම රවුම වටේට රූපයේ පරිදි කොටස් ටික බෙදා වෙන්කර එම තැන්වලට කුඩා රවුම් දොළහ අලවා ගන්න. එම රවුම් ප්ලැටිග්නම් එකකින් ඉලක්කම් ටික ලියාගන්න. පසුව රවුමේ හරි මැද ලකුණුකර එතැනින් සිදුරු කරන්න.

අඟලක පමණ කඩදාසි කොටසක් ගෙන රවුම්කර අලවා මෙම සිදුර තුළින් යවා ගන්න. නැවත එම කොටස තුළට පැය කටුව සහ මිනිත්තු කටුව සිදුරුකර යවා ගන්න. නැවතත් ඉහළ ඇති අනෙක් කොටස කතුරකින් කොටස්වලට කපා පහත්කර රවුමට අලවා ගන්න. එම රවුම ඇලවීමේදී කටු එහෙ මෙහෙ කරගැනීමට හැකිවන අයුරින් අලවා ගන්න ඕනේ.