Thursday, April 18, 2024
Follow Us
මෝස්තරේට අඳින්න කැමැති තරුණ දියණියන්ට...

තාරුණ්‍යයේ පසුවන විලාසිතා කරන්න කැමැති දූවරු වෙනුවෙන් මේ හැඩකාර කලිසම් විලාසිතාව ගෙන එන්නෙමු. කොටස් දෙකකින් සමන්විත මේ කලිසම උසස් අධ්‍යාපනය ලබන දියණියන්ට සුදුසුයි. තනි පැහැති හා මුද්‍රිත රෙදි දෙකක් මිශ්‍ර කර ඔබටත් මෙය පහසුවෙන් මසා ගත හැකියි.

සිරුරේ හැඩයට ගැළපෙන කෙටි බ්ලවුසයකට මෙය ගළපා ගත හැකියි. ඒ වගේම හැඩැති සිරුරක් තියෙනවා නම් ඇඳුමේ ලස්සන හොඳින්ම පෙනේවි.

 

ඉණ වට අඟල් 30

උකුළ වට අඟල් 36

ගොල්ෆි උස අඟල් 9

දණහිස දක්වා උස අඟල් 25

දණහිසේ සිට උස අඟල් 18

 

කලිසම සමඟ යටින් යොදා ඇති ෆිල් එකත් එකතු වූ විට කොටස් 2ට නිර්මාණය කර ඇත. මුලින්ම කලිසම් කොටස වෙනම සාදා ගත යුතුයි.

 

රෙදි කොටස ගෙන බලවාටියට නමා ගන්න. ඉහළින් අඟල් 1/2ක් තබා රේඛාව අඳින්න. ඉලස්ටික් සඳහා අඟල් 1/2 සිට අඟල් 1ක් හෝ 1 1/2ක් තබා ගන්න. ඉන්පසු වෙන් කරන රේඛාව ඉණ රේඛාව යි.

 

ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස හා දණහිස දක්වා උස පහත් කරන්න. හරහට රේඛා අඳින්න. එම රේඛා ගොල්ෆි රේඛාව හා දණහිස රේඛාව වේ.

ගොල්ෆි රේඛාවේ හරහට බලවාටියේ සිට අඟල් 2ක් ලකුණු කරන්න. එය CD වේ. බලවාටියෙ සිට ඉණ රේඛාවේ අඟල් 2 1/2ක් ලකුණු කරන්න. එය AB වේ. B හා D යා කරන්න. D සිට අඟල් 1 1/2ක් ලකුණු කර ගොල්ෆි වක්‍රය අඳින්න.

 

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට රැලි හෝ ප්ලිට් සඳහා අඟල් 1ත් 3ත් අතර එකතු කර ලකුණු කරන්න. එය BE වේ.

 

ඉණ රේඛාව හා ගොල්ෆි රේඛාව අතර මැද හරහට රේඛාවක් අඳින්න. එය උකුළ රේඛාව වේ. උකුළ වට ප්‍රමාණය 2න් බෙදා එන පිළිතුර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

BE ප්‍රමාණයේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. එතැන් සිට දණහිස රේඛාවට කෙළින් ඉරක් අඳින්න.

කකුල වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර දණහිස රේඛාවේ මැද සිට ලකුණු කරන්න. දෙපස හැඩය ඇඳ ගන්න. මැහුම් වාසි තබා කපා ගන්න.

 

 

පිටුපස කැපීමට ද රෙදි කොටස දෙකට නමා ගන්න. ඒ මත ඉදිරිපස පතරොම තබා ගන්න. ඉදිරිපස ගොල්ෆියෙන් අඟල් 2ක් වැඩි කරන්න. දණහිස රේඛාවෙන් අඟල් 1ක් වැඩි කරන්න. එම ලක්ෂ්‍යය දෙක යා කරන්න. ඉතිරි කොටස් ඉදිරිපස ගානට කපා ගන්න.

 

දණහිසෙන් පහත කොටස සඳහා වෙනම එම උසට මැහුම් වාසි තබා රෙදි කොටසක් කපාගන්න.

 

 

ඉදිරිපස ගොල්ෆිය මසන්න. පසුපස ගොල්ෆිය මසන්න. පහත කොටස රැලි කර අල්ලා ගන්න. අංශය මසන්න. ඉණ ඉලස්ටික් කර ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා හා මෝස්තර

නිර්මාණ ශිල්පිනී දිලුෂි දසනායක

Tharunie