Thursday, April 18, 2024
Follow Us
මුදල් වියදමක් නැතිව කැඩුණු කුඩය හදා ගන්න

වැස්ස.... වැස්ස.... නොනවතින වැස්ස අපේ දවසේ වැඩ කටයුතු සියල්ලම අඩපණ කරනවා. ඒත් ගෘහණියකට වැස්ස කියලා තමුන්ගේ දවසේ වැඩ ටික නවත්වන්න බැහැනේ. කොහොම හරි කරන්නම වෙනවා. දරුවො පාසල් යැවීම, ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගන්න, නොයෙක් වැඩවලට එළියට බහින්න වෙනවා.

මේ වැස්සට එකම විකල්පය තමයි කුඩය. කාන්තාවකට කුඩයක් කියන්නේ වඩාත් සමීප උපකරණයක්. සාමාන්‍යයෙන් සෑම කාන්තාවකගේම හෑන්ඩ් බෑග් එකේ කුඩයක් තියෙනවා. සමහරවිට කුඩයක් වැස්සට විතරක් නෙවෙයි අව්වටත් වුවමනා වෙනවා. අව්වට, වැස්සට දෙකටම ප්‍රයෝජනවත් කුඩයක් දැන් සෑහෙන මුදලක්. අලුත්ම කුඩයක් රුපියල් එක්දහස් පන්සියක් විතර වෙනවා. රුපියල් පන්සියට. හත්සිය පනහට තිබුණු කුඩයක් දැන් රුපියල් එක්දහස් පන්සියක් තරම් මුදලකට ගන්න එක ආර්ථිකයට ලොකු බරක්. ඒ නිසා දැනට අපි ළඟ තියෙන කුඩය ප්‍රවේශමෙන් පාවිච්චි කිරීම තමයි එකම විකල්පය. දැන් කුඩයක් සෑහෙන මුදලක් නිසා ගෙදර තියෙන පරණ කුඩයක් අලුත්වැඩියා කරලා ගන්නකෝ. සෑහෙන ඉතිරියක්. ගෘහණියක් ලෙස ඉතිරිය ගැන සිතා, කැඩුණු කුඩය අලුත්වැඩියා කර ගත්තොත් හරිම වටිනවා. අලුත්වැඩියා කරන කෙනෙක් ළඟට ගියත් සෑහෙන මුදලක් වැයවෙන නිසා අපටම ඒ වැඩෙත් කරගන්න පුළුවන් නම් ඒක මේ කා‍ලේ හැටියට ඉතිරියක්. අපි ඒ වෙනුවෙන් පුංචි මඟපෙන්වීමක් ලබා දෙනවා. මේ කටයුත්ත ඔබ සිතන තරම් අපහසු කටයුත්තක් නොවෙයි. ඉවසීමෙන් යුතුව ටික වේලාවක් මේ වැඩේට කාලය යොමු කළොත් ඉතාම හොඳින් ඔබේ කැඩුණු කුඩය පිළිසකර කරගන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් කුඩයක් අලුත්වැඩියාව කැඩුණු ඉළ ඇටයක් අලුත්වැඩියා කිරීමට කම්බි යෙදීම වැනි ක්‍රියාවකි. ඔබ කළ යුත්තේ කැඩුණු වියන කම්බියක් යොදා නැවත සවි කිරීමයි.

 

කැඩුණු Rib එකක් හෙවත් නැණ සාදා ගැනීම

කුඩයක් ඉහළා ගැනීම සඳහා උත්සාහ කරන විට එය හිරවී ඇතිනම් ඔබගේ කුඩයේ Rib එක හිරවී තිබේ. මුලින්ම ඔබ කළ යුත්තේ මීට ආසන්නයේ ඇති බොත්තම හෝ ස්ලයිඩ් ලීවරය සම්පූර්ණයෙන්ම විවෘත වන ආකාරයෙන් සකසා ගන්න. නමුත් එය විවෘත ස්ථානයේ අගුල දැමීමට ඉඩ නොතබා නවත්වන්න. දැන් ඔබට කුඩයේ කැඩුණු නණ සවි කිරීමට ඉතාම පහසුය. ඊළඟට කුඩය උඩු යටිකුරු කර ඔබේ දණහිස අතර සිරස් අතට තද කරන්න. දැන් ඔබේ දෑත් දෙකෙන්ම සවි කිරීමට හැකිවනු ඇත. ඔබ කළ යුත්තේ විසන්ධි වී ඇති ස්ථාන එකට සිටින සේ මුලින්ම සකස් කර ගැනීමයි. එහිදී ඔබට ඒ දෙක සම්බන්ධ වන ස්ථානයේ සිදුරු දෙකක් පෙනෙනු ඇත. ඒ සිදුරු දෙක එකිනෙක සමපාත වන ලෙස පිහිටන ලෙස සකස් කළ පසු එම සිදුරෙන් කුඩා කම්බි කැබැල්ලක් යොදා කටර් අඬුවකින් සවි කර ගන්න.

 

එහෙත් එම නණ දෙකට මැදින් සම්පූර්ණයෙන් කැඩී ඇතිනම් නැවත අලුත්වැඩියා කළ නොහැකියි. ඒ සඳහා නැවත අලුත් නණයක් යෙදීම තරමක් අපහසු කටයුත්තකි. කුඩ අලුත්වැඩියා කරන බොහෝ කාර්මිකයන් පවා මෙලෙස කැඩුණු විට සකස් කිරීම ප්‍රතික්ෂේප කරන අතර එසේ අලුත්වැඩියා කළත් විශාල මුදලක් අය කරයි.

 

බොහෝ විට කුඩයක මිට අගින් ගැලවී යන අවස්ථා පවතී. එවැනි අවස්ථාවක එය නැවත සකස් කර ගැනීමට පෙර හොඳින් ඇලෙන Super glue වැනි ගම් වර්ගයක් යොදා අලවා ගන්න. එවිට ඔබට බොහෝ කාලයක් ඔබේ කුඩය හොඳින් පාවිච්චි කළ හැකි වනු ඇත. තවද කුඩයක් ඉරී ගිය විට අතින් මසන ඉඳිකටුවක් ගෙන එයට ජලයට ආරක්ෂා වෙන නූලක් යොදා මසන්න. තවද ඔබේ කුඩයේ කැනපිය කුඩයේ රෙද්දට සවි වන ස්ථාන ගැලවී ඇත්නම් ඒවා එම නූලෙන්ම මසා ගන්න.

 

මෙලෙසින් ඔබගේ කුඩය අලුත්වැඩියා කරගත් පසු එය මුදල් ඉතිරියක් මෙන්ම සැකසුරුවමින් ජීවත් වන්නට කදිම ආදර්ශයකි.

 

Tharunie