Thursday, April 18, 2024
Follow Us
පිළිකා නාශක ඔසු පැළයක් ගෙවත්තට

අජීර්ණ, අක්මා රෝග, වකුගඩු රෝග, ප්ලීහා රෝග, රක්තපිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය ආදී රෝග රැසකට ඖෂධ පිළියෙල කිරීමට අහු ශාකයේ සියලුම කොටස් යොදා ගනී.

අහු, අප රටේ වියළි කලාපයේ සුලබව දක්නට ලැබෙන ශාකයකි. නමුත් අනෙකුත් කලාපවල ද දක්නට ලැබෙන අවස්ථා ඇත. එය Rubieceae කුලයට අයත්ය. සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් පමණ උසට තරමක් විශාලව ගස වැඩේ. දිලිසෙන සුලු තරමක් විශාල පත්‍ර පිහිටයි. පෙති 5 ක් 6ක් සහිත සුදු පාට කුඩා මල් හට ගනී. කොළ පාට මාංසල ඵලයක් හටගන්නා අතර ඉදුණු පසු කහ පාටට හුරුය.

 

අතීතයේ සිට වර්තමානය දක්වාම අප රටේ මිනිසුන් අහු ශාකය ප්‍රයොජනයට ගනු ලබන්නේ අණවින, කොඩිවින, හදි හූනියම්, ගුප්ත විද්‍යා ආදී මිත්‍යා සංකල්පයන් උදෙසා පමණි.

 

නමුත් එවැනි ළද බොළඳ ක්‍රියාවන්ට වඩා බොහෝසෙයින් වටිනා ඖෂධීය මෙන්ම ආහාරමය ගුණයක් සහිත ශාකයක් ලෙස අහු ශාකය හැඳින්විය හැකියි. ඉහත කී හේතු පදනම් කරගෙන අහු ශාකය ශරීරයට විස ශාකයක් ලෙස සමාජගත වී ඇත. නමුත් එම කතාව සම්පූර්ණයෙන්ම වැරැදි කතාවකි. අප රටේ නැතත් බොහෝ රටවල ජනප්‍රිය පලතුරක් ලෙස අහු ගෙඩි පිළි ගැනේ. ඉදුණු අහු ගෙඩියෙහි යුෂවලින් නිෂ්පාදනය කරන noni juice නම් පානය බොහෝ රටවල ඉතාම ජනප්‍රිය පානයකි.

 

* ගෙඩි වෙදකමේ දී පැසවා යාමට පත්‍ර තළා ලබාගන්නා යුෂ ආලේප කරනු ලබයි. ගෙඩි, වණ සඳහා අහු දලු, රතුලූනු පොල් කිරෙන් අඹරා වණයේ බැඳීම සුදුසු ය.

 

* තුවාල ගොඩ වීමට සහ ශෝධනයට පත්‍ර තළා සාදාගත් පත්තුව භාවිත කරයි.

 

* අහු ගැට තම්බා ගත් ජලයට ලුණු මිශ්‍රකර කට සේදීමෙන් විදුරුමස් ශක්තිමත් වේ. අහු ගැට පුළුස්සා ලබාගත් අඟුරු, ලුණු සමඟ මිශ්‍රකර විදුරුමසේ ආලේප කිරීමෙන් ද විදුරුමස් දියවී යාම නැවතී ශක්තිමත් වේ.

 

* ළදරු අතීසාරයට ප්‍රතිකාර කිරීමට අහු දලු, මී පැණි සමඟ මිශ්‍රකර බෙහෙත් පිළියෙල කරනු ලබයි.

 

* මැලේරියා උණට මෙන්ම දරුවන් බිහි කිරීමෙන් පසු මවට වැලඳෙන සූතිකා උණට අහු නැටි කසාය ගුණදායකය.

 

* අජීර්ණ, අක්මා රෝග, වකුගඩු රෝග, ප්ලීහා රෝග, රක්තපිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය ආදී රෝග රැසකට ඖෂධ පිළියෙල කිරීමට අහු ශාකයේ සියලුම කොටස් යොදා ගනී.

 

* ඉතා අධික මිලකට ලබාගත යුතු Erlotinib නම් පිළිකා නාශක බටහිර ඖෂධයටත් වඩා අහු ශාකයට පිළිකා නැසීමේ හැකියාව වැඩි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.

 

* සිරුරේ ඇති වන වේදනාවන් ට සහන සැලසීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ආතරයිටිස් වේදනාවන්ට සුවය, තුවාල සුව කිරීමේ හැකියාව, මස් පිඬු වේදනාවන්ට සහනය, පිළිකාවට, අක්මා රෝගවලට සහ දියවැඩියාවට සහනය අහු ශාකයේ තවත් ඖෂධීය ගුණයන් ය.

 

* ප්‍රාථමික පිළිකා සෛල නිශේධනය කර දේහය ශක්තිමත් කරයි. රුධිර පීඩනය පහත හෙලන හා හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රති බැක්ටීරියාමය ගුණ දක්වයි. සෛල බිත්ති ශක්තිමත් කරයි. අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය විධිමත් කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි. ඒ නිසා අහු ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ශාකයකි. Morinzhi නම් ස්වාභාවික යුෂය අහු ගෙඩිවල තිබෙන අතර එය භාවිතයෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

 

* විස හරණ තෛල නිපද වීමට ද අහු ශාක කොටස් යොදා ගනී.

 

ඒ නිසා, පුහු මිථ්‍යාවන් පදනම් කරගෙන අහු ශාකය විනාශ කර දැමීමට පෙර එකවරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතන්න..

 

 

උපදෙස්

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

හෙන්රි රණසිංහ

Tharunie