Friday, December 06, 2024
Follow Us
බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් 250ක්

ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්

තක්කාලි ගෙඩි 4 - 5ක්

රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්න

අමු මිරිස් කරල් 2 - 3ක්

රතුලුනූ ග්‍රෑම් 50ක් පමණ

ඉඟුරු, සුදුලුනු මේස හැඳි 2ක් (අඹරාගත්)

වියළි මිරිස් කුඩු මේස හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි 1ක්

රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු

අමු තුනපහ කුඩු මේස හැඳි 1ක්

උළුහාල් තේ හැඳි 1/2ක්

කුරුඳු කැබැල්ලක් (අඟලක පමණ)

අබ ඇට මේස හැඳි 1ක්

තෙල් මේස හැඳි 3ක්

කොත්තමල්ලි කොළ මිටක්

සාදාගන්නා අන්දම- මුලින්ම කඩල සෝදා කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර පැය 6 - 7ක් පෙඟෙන්න තබන්න. පසුව එම වතුරෙන්ම හොඳින් තම්බාගන්න. පැය කාලක් තැම්බෙන විට ලුණු කුඩු ටිකක් එකතුකර වතුර ඉතිරි වෙන්න තම්බාගන්න. වතුර පෙරා එම වතුර ටික පසෙකින් තබන්න. බණ්ඩක්කා සෝදාගෙන අඟල් 1/2ක කුට්ටිවලට කපා කහ කුඩු තවරා රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැඳගන්න. තම්බාගත් කඩලවලින් මිටක් ගෙන කඩල තැම්බූ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කර ගත් පසු ක්‍රීම් එකක් ලෙස තිබිය යුතුයි. තෙල් මේස හැඳි 3 භාජනයකට දමා රත්වන්න තබන්න. රත් වූ තෙලට අබ ඇට දමා පුපුරනවිට රම්පෙ, කරපිංචා, උළුහාල්, ලියාගත් ලූනු, අමුමිරිස්, ඉඟුරු, සුදුලුනු දමන්න. එය බැඳගෙන මිරිස් කුඩු, අමුතුන පහ කුඩු, කහ කුඩු එකතුකර කඩල තැම්බූ ඉතිරි වතුර සහ කඩල ටික දමා රසට ලුණුකුඩු, ගම්මිරිස් එකතු කර විනාඩි කිහිපයක් උයාගන්න. පසුව බ්ලෙන්ඩර් කර ගත් කඩලට තක්කාලි ද මිශ්‍රණයට එකතු කරගන්න. උකු වූ පසු බැඳගත් බණ්ඩාක්කා මිශ්‍ර කර මතුපිටට කොත්තමල්ලි කොළ දමා කෑමට ගන්න.

 

Tharunie