Wednesday, November 13, 2024
Follow Us
චිකන් ඩම් බිරියානි

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න

එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.

බිරියානි කියන නම දැක්ක ගමන් මතක් වෙන්නේ මේ වෙලාවේ අපට මොන බිරියානිද කියලා නේද..? බිරියානිවල ඉතිහාසය පවසන්නේ මීට ශතවර්ෂ ගණනාවකට පෙර ඉන්දියාවේ මන්දපෝෂණයෙන් පෙළුණ හමුදා සෙබළුන් සඳහා මස් සහ බත් මිශ්‍රකර හැදූ පෝෂණීය ආහාරයක් බවයි.

අද රටේ පවතින තත්ත්වය සමඟ මටනම් හිතෙන්නේ වෑංජන දෙක තුනක් සමඟ බත් උයනවාට වඩා ඉඳහිට හෝ බිරියානි එකක් හදන එක පහසුයි කියලා.

මේ දවස්වල උයන එක හිසරදයක් නිසා " වන් පොට් මීල් " එකක් විදිහට ඔක්කොම දේවල් එක භාජනයක උයන්නත් පුළුවන්. මේකෙන් උයන කාලය වගේම හෝදන්න තියෙන භාජන ප්‍රමාණයත් අඩුවෙනවා. ඒ වගේම දැන් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ගෑස් හිඟයටත් මේක හොඳම විසඳුමක්.

අපේ රටේ නම් මේ ඩම් බිරියානි එකට වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නෙ රාමසාන් සමයට. ඒත් දැන් දැන් නම් හැමෝම අතර ඉහළ ජනප්‍රියත්වයක් තියෙනවා. ඉතින් විවේකී ඉරිදාවක ඩම් බිරියානි රසය ඔබත් පවුලේ සාමාජිකයන් සමඟ මේ විදිහට අත්විඳ බලන්න.

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය -

* බාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක්

* කුකුළු මස් කිලෝ ග්‍රෑම් 1ක්

* මුදවපු කිරි ග්‍රෑම් 250ක්

* මිංචි කොළ ග්‍රෑම් 100ක්

* කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50ක්

* අමු මිරිස් ග්‍රෑම් 20ක්

* ලූනු ග්‍රෑම් 250ක්

* රෝස වතුර මිලි ලීටර් 20ක්

* කෙබඩා වතුර මිලි ලීටර්

20ක් (සුපිරි වෙළෙඳසැල් මඟින් ලබාගත හැකියි)

* කුරුඳු පොතු ග්‍රෑම් 10ක්

* එනසාල් ග්‍රෑම් 5ක්

* කරාබු නැටි ග්‍රෑම් 5ක්

* දවුල් කුරුඳු කොළ ග්‍රෑම් 5ක්

* බිරියානි මල් ග්‍රෑම් 5ක්

* ගිතෙල් (අවශ්‍ය පමණ)

* ගරම් මසාලා ග්‍රෑම් 100ක්

* චිකන් මසාලා ග්‍රෑම් 20ක්

* සූදුරු කුඩු ග්‍රෑම් 10ක්

* මිරිස් කුඩු ග්‍රෑම් 20ක්

* කොත්තමල්ලි කුඩු ග්‍රෑම් 10ක්

* දෙහි / ලුණු රස අනුව

මෙහෙම හදමු

කිලෝ ග්‍රෑම් එකක කුකුළු මස් අරගෙන කෑලි අටකට කපලා, කහ කුඩු, ලුණු අතගාල තියලා විනාඩි 15කට පස්සෙ හොඳට හෝදලා වතුර බේරෙන්න තියන්න.

බාස්මති හාල් කිලෝ එකහමාරක් හෝදල වතුර දාලා පැය දෙකක් පෙඟෙන්න තියන්න. සම්බා සහල්වලින් හදනවන පෙඟෙන්න තියන්න අවශ්‍ය නැහැ. හෝදලා උයන්න ගන්න පුළුවන්.

ඔන්න තාච්චියක තෙල් රත්කරලා පෙති ගහල තිබුණු බීලූනු ග්‍රෑම් 500ක් රන්වන් පාටට බැදල තෙල් ෙබ්රෙන්න තියලා ඒ එක්කම රම්පෙ, කරපිංචා ඒ තෙලේම දාලා ගන්න.

දැන් අබ ස්වල්පයක්, උළුහාල් ස්වල්පයක්, සූදුරු තේ හැන්දක්, මහදුරු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැන්දක්, එනසාල් තුනක්, කරාබුනැටි තුනක්, කුරුඳු පොතු කෑල්ලක්, කොත්තමල්ලි මේස හැඳි දෙකක් යන මේ ඔක්කෝම කබලේ රත් කරලා පවුඩර් කර ගන්න ඕනෙ. මේක තමයි චිකන් බිරියානිවලට දාන ගරම් මසාලා එක.

දැන් තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් 10ක්, කොත්තමල්ලි කොළ අහුරක්, මිංචි කොළ අහුරක් යන මේ ඔක්කෝම බ්ලෙන්ඩර් කර ගන්න. දැන් කුකුළු මස් ටික බාජනයකට දාලා බැදගත් ලූනුවලින් බාගයක්, තෙලේ දාලා ගත්ත රම්පෙ කරපිංචා හා අඹරපු සියල්ල එකතු කරන්න. කහ කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, ඉඟුරු සුුදුලූනු පේස්ට් කරපුවා මේස හැන්දක්, අල ගෙඩි දෙකක් සුද්දකරලා කෑලි කපලා එකතු කරන්න. මීකිරි මේස හැඳි දෙකක්, ගී මේස හැඳි දෙකක්, දෙහි ගෙඩියක ඉස්ම හා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා බ්ලෙන්ඩර් එකේ අඹරපුවා ඇලිලා තියෙන ඒවා වතුර තේ කෝප්පෙන් එකක් දාලා හෝදගන්න. ඒ වතුර කවලම් කරලා පැය දෙකක් වෙන්න තියන්න.

ළිපේ හට්ටියක් තියලා හට්ටිය පිරෙන්න වතුර තුන්කාලක් දමා රම්පෙ, එනසාල්, කරාබුනැටි, කුරුඳු මේ ඔක්කොම දාන්න. වතුර නටන්න තියලා පෙඟෙන්න තියපු හාල්වල වතුර බේරෙන්න තියන්න. ඉන්පසුව නටන වතුරේ හාල් ටික දාලා බාගෙට අමුවෙන් හාල් එක පෙරන්න.

හාල්වල වතුර පෙරන්න කලින් හාල් තැම්බූ වතුර කෝප්පයක් මෙරිනේට් වෙන්න තියපු කරියට දාලා කවලම් කරලා බාගෙට අමුවෙන් උයාගත් බත් එක මස් එක උඩින් දාන්න. බත් එක උඩින් දාලා බැදගත් ඉතුරු බී ලූනු භාගය බත් එකට උඩින් ඉහින්න. මිංචි කොළ දාලා ගානිෂ් කරලා හට්ටිය මූඩියකින් වසා සීල් කරලා විනාඩි 20ක් වැඩි ගින්දරේ සහ විනාඩි විස්සක් ඉතා අඩු ගින්දරේත් තියලා ළිප නිවන්න.

දැන් හට්ටිය ඇරලා යට මස් එක තියෙද්දි උඩින් බත් දමා විනාඩි 15ක කාලයක් වසා තබා සීල් කරන්න. පැය 1/2ක් මඳ ගින්නේ තැම්බෙන්න හරින්න.

චිකන් එකේ පැහැයත් බත්වල පැහැයත් වශයෙන් වෙන වෙනම ලස්සනට වර්ණවත් වේවි. කිලෝ එකක බතක් උයනවනම් බිරියානි එක ඩම්කරන කොට කිලෝ තුනක හට්ටියක් භාවිත කරන්න.

Tharunie