Friday, May 03, 2024
Follow Us
කී රොටී

කී රොටී වැඩියෙන්ම හදන්නේ වයඹ පළාතේ ඈයෝ. ඒ පැත්තේ දානේ ගෙවල්වලට කී රොටී අනිවාර්යයි. ඔය තරම් ඉස්තරම් කී රොටිය හදාගන්නේ මෙහෙමයි. හැබැයි එකවර කී රොටි දෙක තුනකට වඩාකන්න බැහැ කියනවනේ. මොකද පැණි රසින් වැඩි නිසා වැඩියෙන් කෑවොත් පොඩි අප්පිරියාවකුත් එනවා කියලයි කියන්නේ.

කී රොටි සෑදීමේදී පළමුව ආප්ප මිශ්‍රණය සකසා ගත යුතුයි. ඒ සඳහා හාල්පිටි කෝප්ප 2 1/2ක්, සීනි තේ හැඳි 2ක්, ලුණු තේ හැඳි 3/4ක්, මිටිකිරි කෝප්ප 1/2ක්, බේකිං සෝඩා තේ හැඳි 1/4ක්, පොල් වතුර 1/2ක් සහ කිරිපිටි මේසහැඳි 1ක් අවශ්‍යයි.

 සිරප් එක සැකසීමට හකුරු ග්‍රෑම් 250ක්, දියකිරි කෝප්ප 2ක්, මිටිකිරි කෝප්ප 1ක්, තළාගත් සුදුලූනු බික් 3ක්, ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2ක් සහ බැදපු හාල්පිටි මේසහැඳි 2ක් අවශ්‍යයි.

මුලින්ම හාල්පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් වතුර ටිකින් ටික හිමීට දාලා අතින් අනන්න ඕනේ. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාන්න. මේකත් තලපයක් එන විදියට අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය 6ක් පිපෙන්න තියන්න. ඊට පස්සේ මේකට මිටිකිරි කෝප්ප 1/2ක් එකතු කරන්න. එකපාරටම නැතුව ටික ටිකයි දාන්න ඕනි. මේක අනාගත්තාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. ඒ වගේම සීනි තේ හැන්දකුත් බේකිං සෝඩා තේ හැඳි 1/4ත් දාලා කලවම් කරන්න. කිරිපිටි මේසහැන්ද ඊළඟට එකතුකර ගන්න. මේ මිශ්‍රණය පැය භාගයක් තියෙන්න අරින්න. දැන් මිශ්‍රණය හදලා ඉවරයි.

ඒ අතරතුර පොල්පැණි සිරප් එක හදාගන්න. භාජනයක් ළිප තියලා ඒකට දියකිරි කෝප්ප 1 1/2ක් දාන්න. මේකට හකුරු ග්‍රෑම් 150ක් එකතු කරගන්න. අඩු ගින්දරේ දියකර ගන්න. දියවුණාට පස්සේ ඉතුරු හකුරු ටික එකතු කරන්න. ඒකත් දිය වුණාට පස්සේ මේ ද්‍රාවණය පෙරාගන්න ඕනි. පෙරාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා ළිපේ තබන්න. එයට ගම්මිරිස්, සුදුලූනූ දාලා කලවම් කරලා ටික වෙලාවක් ළිප තියාගන්න. මිටිකිරි කෝප්පයෙන් ටිකක් එක්කර ගන්න. බැදපු හාල්පිටි මේසහැඳි 2ක් මෙයට එක් කරන්න. හොඳින් හැඳි ගාලා විනාඩි කීපයක් ළිප මත මඳගින්නේ තබන්න. ලුණු ඩිංගක් එකතුකර ගන්න.

තාච්චියක් ළිප තියලා කී රොටී ටික හදාගන්නේ මෙහෙමයි. අඩු ගින්දරේ තෙල් ගාපු තාච්චියට මිශ්‍රණයෙන් ටික ටික එකතු කරලා රොටිය හදාගන්න. මේකට සාමාන්‍ය ආප්පයක් හදනවාට වඩා කාලයක් යනවා. ටික වෙලාවකින් තාච්චියේ පියන ඇරලා ඇඟිලි තුඩුවලට වතුර ටිකක් අරගෙන ඉහින්න. ආයෙත් පියනෙන් වහලා තම්බාගන්න. එක පැත්තක් විතරයි තම්බගන්නේ. කී රොටිය හොඳට තැම්බුණාට පස්සේ කලින් හදාගත්තු සිරප් එක ඇතුළට රොටිය දාන්න.සිරප් එක මේ රොටියට හොඳින් උරාගත් පසුව ආහාරයට ගන්න.

Tharunie