Friday, May 03, 2024
Follow Us
මුං මස්

කුකුළු මස්වලට සම කළ හැකි මුං මස් වෑංජනයක් එක්ක කැකුළු හාල් බතක් බඩ පැලෙනකම් කතහැකියි. එහෙමයි එදා ගමේ උදවිය කිව්වේ. එදා හදපු මුං මස් කරිය අද මෙහෙම හදලා බලමු.

මේ සඳහා මුං මිශ්‍රණයට මුං ඇට ග්‍රෑම් 200ක්, කරපිංචා, සුදුලූනු බික් 3-4ක්, තළාගත් බී ලූනු ගෙඩි 1ක්, තළාගත් අමු මිරිස් කරල් 2ක්, ගම්මිරිස් කුඩු ටිකක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

කරිය සැකසීම සඳහා ඉඟුරු සුදුලූනු පේස්ට් ස්වපයක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු, අමු තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, ගොරකා කෑලි 3ක්, චොප්කරගත් ලූනු ටිකක්, උළුහාල් ස්වල්පයක්, සූදුරු ස්වල්පයක්, මිටිකිරි කෝප්ප 1ක්, බැදපු තුනපහ කුඩු ටිකක් සහ රම්පේ කෑල්ලක් අවශ්‍යයි.

මෙය සැකසීමේදී මුං ඇට රැයක් පෙඟෙන්න දාලා අරගෙන මුං මිශ්‍රණයට කිව්ව ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කර ගන්න. දැන් ස්ටීම් කරන්න පුළුවන් තැටියක කෙසෙල් කොළයක් දාලා හරි බටර් ගාගත් ලන්ච් ශීට් එකක් හරි දාලා ඒකට මේ මික්ස් එක දාලා තරමක් මහතට තුනී කරගෙන විනාඩි 30ක් ස්ටීම් කරගන්න. ඊට පස්සෙ කෑලි කපාගන්න.

තෙල් ටිකක් භාජනයකට දාලා රත්වෙනකොට ලූනූ, ඉඟුරු සුදුලූනූ පේස්ට් එක දාලා තෙම්පරාදු කර ගන්න. ටිකකින් උළුහාල්, සූදුරු, ගොරකා සහ රම්පේ එකතු කරගන්න.

මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු රස අනුව දාගන්න. හොඳට මිශ්‍ර කරලා ස්ටීම් කරපු මුං කෑලි ඇතිලියේ අතුරාගන්න. කිරි ටික දාලා උතුරනකොට බැදපු තුනපහ කුඩු ටිකක් උඩින් ඉහලා අවශ්‍ය ගානට කරිය හිටින්න හින්දගෙන ළිප ඕෆ් කරගන්න.

Tharunie