Monday, April 29, 2024
Follow Us
ලස්සන පාටට රිබන් කේක්

ලස්සන පාටින් තියෙන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට වගේනම් නියමෙට ගැළපෙනවා. ඒ වගේම තමයි උපන්දින කේක්වලට එහෙම ගන්නෙත් මේ රිබන් කේක් එක තමයි. බටර් කේක් එකක් හදාගන්න දන්නා ඔයාලාට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙවෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

පාන් පිටි ග්‍රෑම් 250

කැස්ටර් සීනි ග්‍රෑම් 250

මාගරින් හෝ බටර් ග්‍රෑම් 250

බිත්තර 04ක්

කිරි කෝප්ප 1/4ක්

බේකින් පවුඩර් තේ හැඳි 02ක්

වැනිලා තේ හැඳි 01ක්

ෆුඩ් කලරින් කොළ හා රෝස පාට

සාදන ක්‍රමය:

සීනි ටිකයි මාගරින් ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න. ඔයාලා මේකට සීනි ටික ග්‍රයින්ඩ් කරලා අර ගත්තහම මාගරින් ටිකත් එක්ක හරිම ලේසියෙන් ඉක්මනින් කලවම් කරගන්න පුළුවන්.

බැටර් එක හොඳට ක්‍රීම් ගතියට ආවාට පස්සේ බිත්තර එක එක දදා බීට් කරන්න.

වැනිලා ටික එකතු කර ගන්න.

පිටි ටිකට බේකින් පවුඩර් ටික දාලා හොඳට හලලා මේ බැටර් එකටම දාගන්න.

පිටි ටික දාගත්තාට පස්සේ බීට් කරන එක නතර කරලා කලවම් කරන්න. පිටි ටික දාගත්තාට පස්සේ ඕනෑවට වඩා බීට් කළොත් එහෙම කේක් එක හයිය වෙනවා.

පිටි ටික කලවම් කර ගත්තාට පස්සේ කිරි ටික දා ගන්න.

දැන් මේ බැටර් එකට පාට දා ගන්න ඕනේ. ඒකට බටර් එක සමාන කොටස් දෙකකට බෙදලා බෝල් දෙකකට දා ගන්න.

එක කොටසකට කොළ පාට කලරිනුත් අනිත් කොටසට රෝස පාට කලරිනුත් දාගන්න.

මුලින්ම බේකින් ට්‍රේ එකේ යටට කොළ පාට බැටර් එක දාගන්න. ඒකට උඩින් හෙමින් සැරේ රෝස පාට බැටර් එක දාලා වැඩිය තද කරන්නේ නැතුව හෙමින් සැරේ මට්ටම් කර ගන්න.

මේ කේක් එක 180° C ක උෂ්ණත්වයක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.

බේක් කර ගත්තාට පස්සේ කේක් එක නිවෙන්න තියලා රස බලන්න.

මේ තියෙන්නේ රිබන් කේක් බේක් කරන එක විදිහක්. මේ විදිහට පාට දෙකම එකම බේකින් ට්‍රේ එකකට දාන්නේ නැතුව ඔයාලාට ඕනේ නම් පාට දෙක වෙන වෙනම බේක් කරලා පස්සේ එකතු කර ගන්නත් පුළුවන්.

Tharunie