Monday, April 29, 2024
Follow Us
වෙද කිරිබත

දේශීය වෛද්‍ය ක්‍රමයට සකසන ඔෟෂධීය කිරිබතකි. ඔෟෂධීය ගුණයෙන් පරිපූර්ණ, ශක්තිය වඩවන, නිරෝගී බව ඇති කරන අතීතයේ සිටම හෙළ වෙදැදුරන් භාවිත කළ වටිනා ආහාරයක් මෙන්ම ඔෟෂධයක් ලෙස ද සඳහන් කළ හැකිය. මෙය වෙද කිරිබත ලෙස හඳුන්වා දිය හැකිය.

අවශ්‍ය දේ

• රතු කැකුළු සහල්

• බැදගත් කජු

• වියළි මිදි

• එළකිරි හෝ පොල් කිරි

• එනසාල්

• අවශ්‍ය ප්‍රමාණයට ලුණු

• ගිතෙල්

• රම්පෙ

• කරපිංචා

• රතු ලූනු

• හීනියට ලියා ගත් ගොටුකොළ

• සුදු ලූනු

• සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ

• උක් හකුරු (කුඩා කැබැලිවලට කපා ගත්)

• පැය 4ක් පමණ ජලයේ පොඟවා භාගෙට තම්බා ගත් මුං ඇට සහල්වල බර මෙන් 1/4ක් අවශ්‍ය ද්‍රව්‍ය වෙයි.

සාදන ආකාරය

*සහල් සෝදා සියලු ඔෟෂධීය කොළ, රතු ලූනු අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ලුණු, රම්පෙ, කරපිංචා, සුදු ලූනු ද, භාගෙට තම්බා ගත් මුං ඇට ද එකතුකර සාමාන්‍ය ආකාරයට බත සකස්කර එයට කිරි, වියළි මිදි, එනසාල්, බැදගත් කජු, ගිතෙල් හැඳි 3ක්, හකුරු එකතුකර විනාඩි කිහිපයකට පසු ළිපෙන් බා කෙසෙල් කොළයක් මත අතුරා යහමින් සවිවූ පසු කැබැලිකර ආහාරයට ගත හැකිය.

*සාමාන්‍ය කිරිබතට වඩා මෙම වෙද කිරිබත විශේෂ වන්නේ එහි ඇති ඔෟෂධීය ගුණය නිසා රෝග නිවාරණය කිරීමේ හැකියාව මෙන්ම ශරීර ශක්තිය වර්ධනය කර ධාරණ ශක්තිය ද වර්ධනයකර, ශරීරයේ ඇති දුබලතා මඟහැර, පුරුෂයන්ගේ ධාතු ශක්තිය ද වර්ධනය කරන බැවිනි. කාන්තාවන්ගේ ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ද මෙම වෙද කිරිබත සතුව පවතියි.

*පොදුවේ ගත් කල කිරිබත සිසිලස ගුණයෙන් යුක්ත නිසා පිත නසන, සෙම වඩන ආහාරයක් වන බැවින් කිරිබත් අනුභව කිරීමේදී අධික සෙම් සහිත රෝගීන් සැලකිලිමත් විය යුතුය.

Tharunie