Tuesday, April 16, 2024
Follow Us
තායි රහට ෆිෂ් කේක්

පැණි රසැති කේක් රස බලා ඇති ඔබට තායි ෆිෂ් කේක් නුහුරු නුපුරුදු වුවත් රසින් ඉහළයි. තරමක සැර ගතියකින් යුතු මේ කේක් වර්ගය උදෑසන ආහාරයට වගේම සවස තේ වෙලාවටත් කදිමයි.

 

තායි ෆිෂ් කේක් හදන්න මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා.

සුදුමාළු පිරවුම් ග්‍රෑම් 500, සම සහ කටු ඉවත් කර කැබලිවලට කපා (ගල් මාළු/ වැව් මාළු)

මිරිස් කුඩු තේ හැඳි 3ක්

සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ තේ හැඳි 1ක්

මාළු සෝස් /සෝයා සෝස් තේ හැඳි 1ක්

දෙහි යුෂ තේ හැඳි 1ක්

බිත්තර 1ක්

සහල් පිටි හෝ ඉරිඟු පිටි ග්‍රෑම් 1/4ක්

සිහින්ව කුඩු කරගත් මුං ඇට තේ හැඳි 6ක්

එළවළු තෙල් තේ හැඳි 4 - 6ක් (අවශ්‍ය ප්‍රමාණයට)

පැණි මිරිස් සෝස් තේ හැඳි 1ක්

කොත්තමල්ලි කොළ සැරසීමට

දෙහි කැබැල්ලක්

 

අපි දැන් ෆිෂ් කේක් හදා ගනිමු.

මාළු, මිරිස් කුඩු , කොත්තමල්ලි, මාළු සෝස්, දෙහි සහ බිත්තර යන සියල්ල බඳුනකට දමාගන්න. මාළු තලපයක් ලෙස පෙනෙන ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු සහල් පිටි සහ මුං ඇට පිටි ද එයට එකතු කරන්න. එම මිශ්‍රණයෙන් කෝප්ප 1/4ක් පමණ (අයිස් ක්‍රීම් හැන්දකින් එකක්) ගෙන එය තුනී කරගන්න. පෑන් එකේ මැද හරියට තෙල් දමා, එය රත් වූ පසු තුනී කරගත් මිශ්‍රණයෙන් කීපයක් තෙලට දමා එය රන්වන් පාට වනතුරු දෙපැත්තම බැදගන්න. පේප සර්වියට් එකක් දමා එයට මෙය බා ගන්න. අප සාදා ගත් මිශ්‍රණය මෙලෙසින් පිසගන්න. මෙය පිළිගැන්වීමේදී කොත්තමල්ලි කොළ සහ දෙහි කැබැල්ලකින් සරසා ස්වීස් චිලි සෝස් සමඟ පිළිගන්වන්න.

Tharunie