Thursday, March 28, 2024
Follow Us
රෝස මලින් පිරි රිබන් කේක් එකක හැඩ

රෝස පැහැති රෝස මල් පිරුණු මේ හැඩැති කේක් එක ඔබේ ආදරණීය අම්මාගේ හෝ දියණියගේ උපන් දිනය වර්ණවත් කරන්නටයි. ගෙට ගෙවදින්නට, සුබ පැතුම් ගෙනෙන්නට හෝ වෙනත් උත්සව අවස්ථාවකටත් මේ කේක් නිර්මාණය ගළපා ගන්නට හැකියි.

පසුගිය දිනක තරුණී ඔන්ලයින් කේක් පාඨමාලාව හරහා බටර් අයිසිං මඟින් රෝස මල් සාදන ආකාරය පහදා දුන්නා. මේ කේක් නිර්මාණයෙන් එය තවත් පැහැදිලි කරගන්න හැමෝටම පුළුවන්.

අද අප ගෙන එන කේක් එකට රුලං පිටි එකතු කර ඇත. ඒ නිසා රසට, ගුණට, ලස්සනට ඔබටත් මෙය සාදා ගත හැකියි.

 

මුලින්ම අපි රිබන් කේක් එක සාදා ගනිමු.

 

 

 

බටර් ග්‍රෑම් 500ක්

රුලං පිටි ග්‍රෑම් 500ක් (රුලං පිටි නැත්නම් පාන් පිටි ගන්න)

සීනි ග්‍රෑම් 500ක්

වැනිලා තේ හැඳි 2ක්

බනානා එසන්ස් බින්දු 2ක්

බිත්තර 8ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 25ක්

කිරි මේස හැඳි 2ක්

 

 

 

බටර් හා සීනි හොඳින් ගසාගන්න. එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න. එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න. රුලං පිටි සහ බේකිං පවුඩර් හොඳින් හලා ගන්න. දැන් බටර්, සීනි බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් ලෝ ස්පීඩ් බිට් කරන්න. දැන් කිරි එකතු කර කලවම් කරන්න.

සාදා ගත් කේක් මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන් කරන්න. එක කොටසකට රතු වර්ණකයෙන් බින්දු දෙකක් දාන්න. අනෙක් කොටසට කොළ පාටින් බිංදු දෙකක් දාන්න. ඉතිරි කොටස එම ස්වාභාවික වර්ණයෙන්ම තියන්න.

දැන් අඟල් 7 කේක් තැටි 3ක් ගෙන බේකිං පේපර් දමා සකස් කර ගෙන ඒ මත කේක් මිශ්‍රණය පාට තුන වෙන වෙනම තැටි තුනට එක් කරන්න. විනාඩි 8 කට විතර කලින් රත්කර ගත් අවන් එකක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් යුතුව විනාඩි 25ක් බේක් කරන්න. බේක් කර ගත් කේක් එක අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවෙන්න තියන්න.

දැන් අපි හොඳින් නිවුණු කේක් එක බටර් අයිසිං මඟින් හැඩ කරගමු.

 

ඒ සඳහා අවශ්‍ය දේවල්

 

බටර් ග්‍රෑම් 700ක්

අයිසිං සීනි ග්‍රෑම් 1400ක්

වැනිලා තේ හැඳි 1/2ක්

කිරි මේස හැඳි 2ක්

 

මෙහෙම හදන්න

බටර්, අයිසිං සුගර්, වැනිලා කිරි එකට එකතු කර ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න. දැන් සාදා ගත් බටර් අයිසිං එකෙන් 1/3ක ප්‍රමාණයක් මල් සහ කොළ සඳහා වෙන් කර ගන්න. ඉතිරි බටර් අයිසිං ‍ 2/3 කේක් එක කවර් කිරීමට වෙන් කර ගන්න. නිවුණු කේක් එක උඩ සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න. දැන් කේක් එක උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න. මල් සහ කොළ සඳහා වෙන් කර ගත් බටර් ක්‍රීම් එකෙන් වැඩි ප්‍රමාණයක් මල් සඳහා වෙන් කර ඒ කොටසට රෝස වර්ණකය එක් කරන්න. අනිත් කොටසට කොළ වර්ණකය එක් කරන්න. නොම්බර 125 ලොකු පෙට්ල් නොසල් එක භාවිත කරමින් ලොකු රෝස මල් නිර්මාණය කරන්න.

නොම්මර 104 පොඩි පෙට්ල් නොසල් එක භාවිත කරමින් පොඩි රෝස මල් සහ චෙරි මල් නිර්මාණය කරගන්න. නිර්මාණය කර ගත් මල් සියල්ල අධි ශීතකරණයේ විනාඩි 15ක් තබන්න.

ඉන්පසු කේක් එක මත බටර් ක්‍රීම් ටිකක් තවරා සාදා ගත් බටර් අයිසිං මල් කේක් එක මත රඳවන්න. නොම්බර 68 හෝ 352 නොසල් එක භාවිත කරමින් කොළ යොදා කේක් එක හැඩ කරගන්න. කේක් එක වටේ යට දාරය දිගේ ස්ටාර් නොසල් එක මඟින් හැඩ කර කේක් නිර්මාණය අවසන් කරගන්න.

 

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි

ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

Tharunie