Thursday, April 25, 2024
Follow Us
ජීවිතය ක්ලීන් කරපු මිරකල් ටොප් එක

බිඳවැටීම්, අර්බුදකාරි අවස්ථාවන් සහ මිනිසුන්ගේ රැවටීම් කියන්නෙ එයින් පීඩාවන්ට ලක්වෙන අයට හොඳ උත්තේජනයක්.

කාන්තාවන්ට තම අභියෝග හමුවේ නොසැලී ජීවිතය ජයගන්නේ කවරාකාරයෙන්ද යන්න ඔයාලව දැනුම්වත් කරන එක් චිත්‍රපටයක් තමයි Joy කියලා කියන්නේ. ගියවර අපි කියපු Self Made කතාමාලාව වගේම Joy චිත්‍රපටයත් අපි ජීවත්වන ලොකයෙම විවිධ ආකාරයේ බාධක තමන්ගෙ ගමනට අකුල් හෙළුවත් ඒ හැමදේටම මුහුණ දීලා ජීවිතය ජයගන්න සමත් වුණ තරුණියක් පිළිබඳ කතාවක්. ඇය නමින් Joy mangano

 

කවදහරි දවසක අහලා තියෙනවද යම් කිසි අතපසුවීමක් නිසා එය තුළින්ම සියළු ප්‍රශ්න විසඳගෙන සාර්ථකත්වය කරා ගියපු චරිතයක් ගැන. අහලා නැත්නම් ඒ ගැන වැඩිය කලබල වෙන්න එපා. Joy චිත්‍රපටය ඔයාලට ඒක මුල ඉඳලා අගටම කියලා දෙයි. ඒ වගේම කතාව බැලුවට පස්සෙ ඔයාලට තේරෙයි. තමන්ගෙ වටේ ඉන්න අයව සහ මිනිස්සුන්ව විශ්වාස කළ යුත්තේ කවරාකාරයෙන්ද යන්න කියන දේ ගැන.

 

මේ චිත්‍රපටයේ කියවෙන්නේ කුඩා බෝට්ටුවක් තුලදී Joy පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලෙනා විට තමා පිරිසිදු කරන ලද Mop එක කැඩීයාමෙන් ඒ සඳහා නව ආකාරයක පිරිසුදු කිරීමේ Mop එකක් හඳුන්වාදීමට උත්සාහ කිරීමත් සමඟයි. නිවසට පැමිණි ඇය විවිධ ආකාරයේ සැලැස්ම අඳිමින් ඒ වෙනුවෙන්ම වෙහෙසවීමෙන් අනතුරුව මුල්ම වතාවට නව ආකාරයේ Mop එකක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඊට ඉස්සෙල්ලා ඔයාලා දැනගත යුතුම කාරණාවක් තමයි Joy ගේ වටාපිටාවේ ඉන්නෙ කව්ද කියලා. අපි හැමෝටම වගේ හැම වෙලාවෙම Joy ට ඉන්නෙත් තමන්ගෙ පවුලෙ අයම තමයි. තමන්ගෙ සැමියා, දරුවන්, මව, ආච්චී,සීයා මේ සියල්ලන්ම එකට එකම නි‍වසෙ හිටියත් යම් යම් වෙලාවට තාත්ත කරන වැඩ නිසා Joy ගේ වැඩ අවුල් වෙලා සංකීර්ණ වෙන්න ගියපු වෙලාවලුත් නැතුවම නෙවෙයි. කොහොම හරි දැන් අලුත්ම භාණ්ඩයක් ලෝකයට හඳුන්වලා දුන්න Joy ට තියෙන ඊළඟ පියවර තමයි භාණ්ඩය අලෙවි කර ගැනීම.

 

ඔව් ඇත්තෙන්ම Joy ට ඒක ලොකු අභියෝගයක් වුණා. මේ අභියෝගත් එක්ක තමයි Joy ට තමන්ගෙ ගමනට පාර හැදෙන්නෙ.

 

පාරට බැහැලා Joy ගෙ Miracle Mop එක විකුනන්න උත්සාහ ගත්තත් ඒක සාර්ථක වුනේ නෑ. ඒක නිකම්ම නිකන් මහන්සියක් විතරයි. මුලින්ම Joy ගේ අළුත්ම විදියේ Mop එකටආයෝජකයෙක් සම්බන්ධ වුණත් චිත්‍රපටයේ හොඳම කොටස පටන්ගන්නේ ඇයට රූපවාහිනී වැඩ සටහනකට සම්බන්ධවීමේ අවස්ථාව ලැබීමත් සමඟයි. රූපවාහිනී වැඩ සටහනට සම්බන්ධ වෙන Joy ගෙදර ඉන්න හැමෝමත් එක්ක රූපවාහිනිය ඉස්සරහ ඉඳගන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගෙ. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තියාගන්න Joyට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි නිෂ්පාදනය කරපු රූපවාහිනී වැඩසටහනේදී Joyට අවාසිදායක වෙන විදියට රූපවාහිනී වැඩසටහන විකාශය කරන්න කටයුතු කර තිබීම.

 

බිඳවැටීම්, අර්බුදකාරි අවස්ථාවන් සහ මිනිසුන්ගේ රැවටීම් කියන්නෙ එයින් පීඩාවන්ට ලක්වෙන අයට හොඳ උත්තේජනයක්. තමන්ගෙ ගමන නොනවත්වාම ඉදිරියට ගෙනියන්න මේ දේවල් අභියෝගයට ලක් කිරීම තමයි හොඳම දේ. ඉතින්, Joy කරෙත් එහෙම දෙයක්.

 

පළවෙනි රූපවාහිනී වැඩසටහන අසාර්ථක වීමෙන් පස්සෙ ඇය දෙවෙනි රූපවාහිනී වැඩසටහනටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ඉල්ලා සිටිනවා. ඇයට මේ අවස්ථාව ලැබීමත් සමඟ Joy නොසිතූ විදියට ජයග්‍රාහී ගමන යෑම ආරම්භ කරනවා. මේ වැඩසටහනත් සමඟ ඇය තමන්ගේ අළුත්ම Mop එක විකිණීමෙන් ඩොලර් දහස් ගණනක ආදායමක් ලබන්නත් සමත්වෙනවා. කොහොම වුණත් කලක් යනකොට ඇය විශාල මුදල් අඟහිඟතාවයකට පත්වෙනවා. එයට හේතුව තමයි නිශ්පාදකයාට අධික ගාස්තු ගෙවීමක් සිදුවීම. මේ මොහොතේ නිශ්පාදකය විසින් Joyට මුදල් ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තමයි ඇය මේ ගැටළුවට පත්වෙන්නෙ. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ පේටන්ට් බලපත්‍රය සම්බන්ධ ගැටළුවකටත් ඇයට මූණ දෙන්න සිද්ධ වෙන්න විවිධ විදියෙ චෝදනාවලට යටත් වෙන්න කියන බලපෑමත් සමඟ

 

ඊට පස්සෙ, ඔව්, ඊට පස්සෙ ඇය පේටන්ට් බලපත්‍ර ගැටළුව සහ අතේ මුදල් හිඟවීම කියන කරුණත් එක්ක මොනවිදියෙ දේවල් කරාවිද. මේ හැමදේටම ඔයාලට ලස්සන පිළිතුරක් හොයාගන්න පුළුවන් සම්පූර්ණයෙන් Joy චිත්‍රපටය බැලුවට පස්සෙ. බලලා රසවිඳින්න විතරක් නෙවෙයි එතනින් තරුණියක් විදියට ජීවිතේ ගොඩනගාගන්නේ කොහොමද කියන කාරණාවත් හරි අපූරුවට බලාගන්න පුළුවන්

 

ඉතින් Joy Mangano විදියට මේ චරිතයට රංගනයෙන් සම්බන්ධ වෙන්නේ ජෙනිෆර් ලෝරන්ස්. මේ චිත්‍රපටය නිසා ඇයට සිනමා විචාරකයන්ගෙන් ඉහල ඝනයේ පැසසුම්වලට පාත්‍රවීමේ අවස්ථාව ලැබුණා වගේම තමයි තුන්වෙනි වරටත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනාගැනීමේ අවස්ථාව ලැබුනා.

 

ඒ වගේම සිව්වන වරටAcadamey Award සඳහා තමාගේ නම යෝජනාවීමේ මහඟු වරමත් ලැබුනා. ඒ සමඟම ඔස්කාර් සම්මාන උළෙලේ හතරවරක් තම නම යෝජනා වූ ලාබාලතම රංගන ශිල්පිනිය ලෙස ඉතිහාසගත වන්නටත් ජෙනිෆර් ලෝරන්ස්ට අවස්ථාව ලැබුණා.

 

මේ චිත්‍රපටය බැලුවට පස්සෙ ඇත්තටම අපි මෙතනින් මොනවද ගත යුත්තෙ කියලා ඔයාලට හිතෙයි. හරි. එහෙනම් ඒක තමයි විය යුතුම දේ. හිතලා බලන්න චිත්‍රපටය බැලුවට පස්සෙ කොහොමද අපි Joy Mangano ගෙ ජීවිත කතාවෙන් මොනවගේ ආදර්ශයක්ද ගත යු‍ත්තෙ කියාල. හරියටම ඒක ඔලුවට දාගත්තොත් ආත්ම ශක්තිය කියන දේ ඔයාලගෙ හිත්වල නිතරම රැඳිලා තියෙයි.

Tharunie