Thursday, March 28, 2024
Follow Us
කතා කරන ඇස් දෙකට ආදරය කරමු

ඔක්තෝබර් 14 දිනට යෙදී තිබුණු ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙනි

Love your eyes

අපේ රටේ මෙන්ම ලෝකයේ වැඩිම ප්‍රමාණයක් අන්ධ වන්නේ හෝ අර්ධ අන්ධතාවට පත්වන්නේ ඇසේ සුද නිසයි. මිලියන 22ක් පමණ වන ලාංකේය ජනගහණයෙන් මිලියන 2ක් පමණ අන්ධභාවයෙන් පෙළේ.

 

මේ ලෝකේ අපි වැඩියෙන්ම කැමැති දේ‍්, වැඩියෙන්ම ආදරය කරන අය ඇස් දෙක වගේ පරෙස්සම් කරගන්නේ, 'ඇස් දෙක වගේ බලා ගත්තේ' වැනි වදන් පවසනු ඕනෑතරම් දැක ඇති.

 

ඒ විතරක් ද අපි ලෝකය දිහා එකිනෙකාට සාපේක්ෂ අන්දමින් දකිමින් මේ ඇස් දෙකෙන් අපේ ජීවිතයට අත්දැකීම් ඕනෑතරම් ලබලා ඇති. 'ඔයා ඇස් දෙකටම දැක්ක ද?' 'ඇස් දෙකෙන් ම දකිනකම් මම නම් විශ්වාස කරන්නේ නැහැ.'

 

යමක නිරවද්‍යතාව සියයට සියයක්ම තහවුරු කරගන්න ඇස් දෙක තරම් සාක්ෂියක් තවත් කොයින්ද?

එසේම කතා කරන ඇස් දෙකක් මුවගින් පිටවන වචන ගණනාවකට වඩා දහසකුත් දේ කියාපායි.

පසුගිය දිනෙක යෙදී තිබුණේ ලෝක දෘෂ්ටි දිනයයි. අපි අපේ ඇස් මොනතරම් ප්‍රවේශම් කරගත යුතු ද? ඇස්වලට ආදරය කළ යුතුද? දෘෂ්ටි දිනය අපට ඒ බව පසක් කරලයි. අන්ධතාව සහ දෘෂ්ටිය සම්බන්ධ නොයෙකුත් අඩු ලුහුඬුතා පිළිබඳ කතාබහ කරන්නට එවන් දිනයක් වෙන්කොට තැබීමත් වැදගත් කරුණකි.

 

උපතින්ම අන්ධ වී මෙලොවට ජනිත වනවාට අමතරව පසු කලෙකදී ඇස් ආශ්‍රිතව ඇති ආබාධ කොතෙක් ද? මේවායින් බොහොමයක් වළක්වා ගත හැකි ඒවායි.

 

Love you eyes 'ඇස් දෙකට ආදරය කරන්න' ඇස් දෙකට ආදරය කළොත් ඇස් හැමදාමත් රැකේවි. ඇස්වලට සිදුවන අනතුරු අවම වේවි. ඇස් වෙහෙස වීම පිළිබඳ යළි යළිත් සිතාවි.

 

අක්ෂි පරීක්ෂාව

වසර දෙකකට වරක්වත් ඇස් පරීක්ෂාවක් කර ගැනීම අතිශය වැදගත්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෙනීම සම්බන්ධ ආබාධ ශීඝ්‍රයෙන් වැඩිවිය හැකි නිසා උපැස් යුවළක් පලඳින දරුවකුගේ නම් මාස 6කට වතාවක් ඇස් පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. ඒ අනුව උපැස් යුවළ ද යම් යම් වෙනස්කම්වලට භාජනය කළ යුතුයි.

 

මේ කාලයේ වයස් භේදයකින් තොරවම පාහේ සැවොම දවසේ පැය විසිහතරෙන් වැඩිම කාලයක් ගත කරනුයේ විද් ත් තිරයක් සමඟයි. ඇස් දුර්වල වීමට මෙය ප්‍රබල සාධකයකි.

 

ඇසේ සුද හෙවත් Cataract

අපේ රටේ මෙන්ම ලෝකයේ වැඩිම ප්‍රමාණයක් අන්ධ වන්නේ හෝ අර්ධ අන්ධතාවට පත්වන්නේ ඇසේ සුද නිසයි. මිලියන 22ක් පමණ වන ලාංකේය ජනගහණයෙන් මිලියන 2ක් පමණ අන්ධභාවයෙන් පෙළේ. එයිනුත් මිලියන 1.5ක් ඇසේ සුද හෙවත් Cataract තත්ත්වය නිසා විවිධ වූ අන්දමින් අන්ධතාවට පත් වේ. ඇසේ සුද සඳහා කරනුයේ ඉතා සරල ශල්‍යකර්මයක්. ඒ ඔස්සේ සාමාන්‍ය පෙනුම ළඟා කරගත හැකියි. මෙය රජයේ රෝහල්වලින් කිසිදු වියදමකින් තොරවමත් කරගත හැකියි.

 

දියවැඩියාව

දියවැඩියාව නිසා ඔබ අන්ධ විය යුතු නැත. මේ නිසා දියවැඩියා රෝගීන් වසරකට වරක් අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කරගත යුතුයි. අක්ෂි පරීක්ෂාව කොහෙත්ම කල් දැමිය යුතු නැත. කල්යත්ම සිදුවන්නේ අක්ෂි සංකූලතා ඇති වීමයි. ඉන්පසු ප්‍රතිකාර සිදු කළත් ඵලක් නැති වූවොත් සිදුවන්නේ පසුතැවිලි වන්නටයි. රුධිරයේ සීනි මට්ටම වෙනස් වීමු. එය ඇසේ පටකවලට බලපායි. පසුව දෘෂ්ටි විතානයේ ලේ නහරවලට ද බලපායි. එවිට පෙනීම නැත්තටම නැතිව යයි. කෑම පාලනය සහ ව්‍යායාමවල යෙදෙමින් දියවැඩියාව පාලනය කිරීම අවශ්‍යයි.

 

ග්ලූකෝමා තත්ත්වය

ග්ලූකෝමා රෝගය නොදැනුවත්වම ඔබව අන්ධ කරයි. මෙය ඇසේ පීඩනයත් සමඟ ඇසෙහි ස්නායු දුර්වල වීමෙන් හටගන්නා තත්ත්වයකි. ග්ලූකෝමා තත්ත්වය නිසා ඇස් අන්ධ වීමට ඇති ඉඩකඩ බොහෝ යි. ඔබේ ලේ ඥාති හෝ ග්ලූකෝමා රෝගයෙන් පෙළෙනවා නම්, ඔබ වයස අවුරුදු 40 වඩා වැඩි අයෙක් නම්, කුඩා කළ සිට ඇස් කණ්ණාඩි පලඳින අයෙක් නම් ග්ලූකෝමා සඳහා ඇස් පරීක්ෂා කිරීමට කල්ගත කරන්න එපා.

 

කුඩා දරුවන් බොහෝවිට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතුවල නියැළෙයි. මාර්ගගත ක්‍රමය (online) තරමක් දුරට මඟහැරී භෞතික (Physical) පන්ති කාමරයේ දී අධ්‍යාපන කටයුතු සිදු කෙරුණත් දැන් බොහෝවිට දරුවන් විද්යුත් තිර (Screen) සඳහා ඇබ්බැහි වී සිටියි. ජංගම දුරකථනයකින් අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වීමට වඩා ලැප්ටොප් එකකින් සම්බන්ධ වීම හොඳයි. ඇසට ඇති වෙහෙස තරමක් අඩු වේවි. විනාඩි 15 - 30ත් අතර කාලයක දී ස්ක්‍රින් එකෙන් ඇස් ඉවතට ගෙන තත්පර කිහිපයක් ඈත බලාගෙන සිටිය යුතුයි.

 

කුඩා දරුවන් ඉතා ආසන්නයේ සිට රූපවාහිනිය නැරැඹීම, ඇසට ළං කොට පොත්පත් කියවීම, හිසරදය, නිතර ඇස් පොඩි කිරීම, අසාමාන්‍ය ලෙස හිස හරවා යමක් දෙස බැලීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහාම අක්ෂි පරීක්ෂාවක් සඳහා දරුවා යොමු කළ යුතුයි. මෙවැනි ලක්ෂණ අනුව දරුවා දෘෂ්ටි ඌනතාවයකින් පෙළෙනවා විය හැකියි.

 

සුවබර දිවියකට පෙනුම අත්‍යවශ්‍ය අංගයකි. එසේ නම් අප ඇස් දෙකට ආදරය කළ යුතුම නොවෙද?

 

විශේෂ ස්තූතිය

ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙන් පැවැති

මාධ්‍ය සාකච්ඡාව සඳහා එක් වූ අක්ෂි ශල්‍ය

විශේෂඥ වෛද්‍ය

චම්පා බානගල, ප්‍රදීපා සිරිවර්ධන,

දීපානි වේවැල්වල යන මහත්මීන්

Tharumie