Thursday, April 25, 2024
Follow Us
අපේ ගැහැනු දරුවන්ගේ අනාගතය කොයිබට ද?

ඔබේ දරුවාට අසීමිතව ආදරය කරන්න. ඒ ආදරය නොපැකිළව ඔවුන් වෙත පෙන්වන්න. ඔබේ දරුවාව විශ්වාස කරන්න සහ ඒ විශ්වාසය සුරකින ලෙස පවසන්න. සැමවිටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.

ඔක්තෝබර් 11 වැනිදා ජාත්‍යන්තර ගැහැනු දරුවාගේ දිනයයි. 2012 වර්ෂයේ සිට සෑම වසරකම මේ දිනය සමරනු ලබන අතර පසුගිය සතියේ එහි 10 වැනි සංවත්සරය උදා විය.

 

මෙලෙස ගැහැනු දරුවන් වෙනුවෙන්ම දිනයක් වෙන් කර තිබුණ ද මේ මොහොත වනවිටත් ලොව පුරා ගැහැනු දරුවන් කෙතරම් පිරිසක් පීඩාවට පත්ව සිටිනවා ද? විශේෂයෙන්ම අපේ රටේ දියණියන්ගේ හෙට දවස කොයිතරම් නම් අනාරක්ෂිතදැයි ඔබ මොහොතක් සිතුවා ද?

 

සුවඳ බෙදන සොඳුරු මලක්

පුංචි දියණියක් කියන්නෙම පින්නෙ පිපුණු පුංචි මල් කැකුළක් වාගෙයි. හරිම නැවුම්. සුන්දරත්වයෙන් අනූනයි. ගුණ යහපත්කම්, නැණ නුවණින් පිරුණු විට සුවඳ විහිදුවාලන මලක් තරමටම වටිනවා. හැබැයි මේ මලේ සොඳුරු බව නොනසා රැක ගැනීම වැඩිහිටියන් වු අපේ වගකීමයි. මන්ද මලක් වුණත් හැමදාම සුන්දර එය නොකිළිටි වූ තරමටයි. එබැවින් මවක් වූ ඔබේ ඇස් මානෙන් පිටත නොයවා මේ අපූරු කුසුම රැකගත යුතුයි.

 

අඳුරට ඇදී යන අනාගතය

නමුත් මවුපියන් මලක් තරමට සුරකින අපේ රටේ දියණියන් කීදෙනකුගේ නිරුවත් ඡායාරූප, ඇසැබි දර්ශන මේ මොහොත වනවිටත් අන්තර්ජාලය තුළ සැරිසරන බව ඔබ දන්නවා ද? නොගැළපෙන වයසට ඇති කරගන්නා පෙම් සබඳතා එහෙමත් නැතිනම් ඔබේ දියණියගේ ළඟම යෙහෙළිය හෝ යහළුවන්ගේ බලපෑම් මත මේ දේ සිදු වූවා විය හැකියි. නවීන තාක්ෂණ භාවිතය පිළිබඳ නොදැනුවත්කම නිසා ද ඇතැම්විට මෙවැනි දෑ සිදුවිය හැකියි. කෙසේ නමුත් විනාශ වී යන්නේ ආදරණීය දියණියගේ පැහැබර අනාගතයයි.

 

නවීන තාක්ෂණ භාවිතය

පසුගිය කාලය පුරාවටම පැවැති විවිධ ව්‍යසන හමුවේ වඩාත්ම පීඩාවට පත් වූ පිරිස බවට පත් වූයේ අපේ දරුවන් ය. නිසි වයසට ලබා ගත යුතු අධ්‍යාපනික දැනුම පමණක් නොව ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් ද අඩාළ වුණි. කිසිවිටෙකත් කුඩා වයසේ දී ලබා දිය යුතු යැයි නොසිතූ ජංගම දුරකතන, ටැබ්, පරිගණක භාවිත කිරීමට ඉඩකඩ ලබා දෙන්නට සිදු වූයේ ද මාර්ගගත ක්‍රමය (online) හරහා අධ්‍යාපන කටයුතු සිදු කරන්නට වූ නිසාමයි.

 

නමුත් මේ තාක්ෂණ භාවිතය නිසි පාලනයක් තුළ සිදු කිරීමට වගබලා ගත යුතුයි. දරුවන්ටත් නොදැනෙනා පරිද්දෙන් ඔවුන්ගේ තාක්ෂණ භාවිතය පිළිබඳ ඔබ සොයා බලන්න. ඔවුන්ගේ වයසට නොගැළපෙන දෑ සොයා බලා ඉවත් කරන්න. විශේෂයෙන්ම දරුවන් අන්තර්ජාලය හරහා ඇතැම් දෑ සොයා බලනවා නම් ඒ සඳහා ඔබ ද උදවු කරන්න. එවිට අනවශ්‍ය දෑ නෙත නොගැටී අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඔබේ දායකත්වය ද ලබාදිය හැකියි.

 

හරි වැරැද්ද වටහා දෙන්න

එමෙන්ම මේ තාක්ෂණ භාවිතයේ හොඳ සේම එහි නරක ද ඔබේ දරුවාට කියාදෙන්න. විශේෂයෙන් ම තම පෞද්ගලිකත්වය පිළිබඳ නිවැරැදි වැටහීමක් දරුවාට ලබා දිය යුතු අතර එය අන් අය වෙත ප්‍රකාශ කිරීම හෝ නොපෙන්විය යුතු බව වටහා දෙන්න.

 

වඩාත් ආදරය කරන්න

මේ සියලු දේ අතරතුර ඔබේ දරුවාට අසීමිතව ආදරය කරන්න. ඒ ආදරය නොපැකිළව ඔවුන් වෙත පෙන්වන්න. ඔබේ දරුවාව විශ්වාස කරන්න සහ ඒ විශ්වාසය සුරකින ලෙස පවසන්න. සැමවිටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබ අසීමිත වැඩ රාජකාරිවලින් හෙම්බත්ව සිටිය ද දරුවා වෙනුවෙන් කාලය වෙන් කරන්නට අමතක කරන්න එපා.

 

හොඳම යෙහෙළිය මව

ඔබේ පුංචි දියණියගේ හොඳම මිතුරිය මව වෙන්න. ඇයගේ සියලු දෑ ඔබ සමඟ පවසන්නට හැකි ආකාරයේ අපූරු විශ්වාසයක් ගොඩනඟා ගන්න. ඒ විශ්වාසය සුරකින්න. ඇය සමාජානුයෝජනය කළ යුත්තේ නිසි වයසේදී නිසි ආකාරයටයි. ඒ සඳහා මවක් වූ ඔබ අසීමිතව කැප කිරීම් කළ යුතුමයි. එසේ නොවුණහොත් අඳුරු වූ දරුවාගේ අනාගතය දෙස බලා දුක්වන්නට සිදුවන්නේ ද ඔබ සියලු දෙනාටමයි. දුවෙක් කියන්නෙම වීදුරු බඳුනක් වාගේ. එය නිසිලෙස රැකබලා නොගතහොත් ලාංකීය මේ සමාජය තුළ ඒ වැරැද්ද එල්ල වෙන්නෙත් මවට බව අමතක කරන්න එපා.

tharunie