Friday, March 29, 2024
Follow Us
අත් පා ගැන කෙතරම් සැලකිලිමත් ද?

ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

මුහුණ, හිසකෙස් සහ සිරුරේ හැඩය ගැන වැඩිපුර සැලකිලිමත් වන බොහෝ දෙනෙක් තමන්ගේ දෑත සහ දෙපාවල පෙනුමත් නීරෝගි බවත් ගැන දක්වන්නේ තරමක අඩු සැලකිල්ලකි. හැබැයි තමන් සිදුකරන සෑම සියලු කාර්යයකටම දායකත්වය දක්වන දෑත්වලට සහ සිරුරේ බර දරාගනිමින් අපිව ඇවිද්දවන දෙපාවලට මේ විදියට අඩු සැලකිලි දැක්වීම එතරම් සුදුසු වන්නේ නැහැ නේද? මේ නිසා අප හිතුවා දෑත් සහ දෙපා හරියාකාරව රැක බලාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව කරුණු කිහිපයක් කතා බහ කළොත් හොඳයි කියලා.

 

නිවැරැදිව පිරිසුදු කරන්න

 

විසබීජ සහ කුණු, දුහුවිලි ඉවත්වෙන ආකාරයට දෑත් පිරිසුදු කිරීමේ වැදගත්කම ගැන මේ වෙනකොට හැමෝම වගේ දැනුවත්. හැබැයි ඔබ මේ සඳහා නිතරම anti- bacterial සබන් වර්ග යොදා ගන්නවා නම් එමඟින් ඔබේ සමේ අඩංගු ස්වාභාවික තෙල් ගතිය ඉවත් වී දෑත් වියළී සහ ඉරිතැළුණු ස්වභාවයකට පත්වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා සුවඳ ගැන්වූ සබන්වලිනුත් මේ හානිය ම සිදුවෙනවා. ඉතින්, මේ ගැටලුවෙන් මිදීම සඳහා ඔබ කළ යුතු වන්නේ Shea butter, aloe vera, olive oil වගේ hydrating ingredients අඩංගු සහ fragrance- free moisturizing සබන් වර්ගයක් දෑත් සේදීම සඳහා භාවිත කිරීමයි. ඒ විතරක් නෙවෙයි, නිතරම උණුසුම් ජලයෙන් දෑත් සේදීම හේතුවෙනුත් ඔබගේ දෑත් වියළීමට ලක්වෙනවා.

 

පාවහන් භාවිතය

 

ඔබ නියැළෙන කාර්යය කුමක් වුවත් අවස්ථානුකූලව ඒ හා ගැළපෙන ආකාරයේ පාවහන් භාවිත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කාර්යාලයට පලඳින පාවහන් යුවළ ව්‍යායාම කිරීමේදී භාවිත කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම තමයි පාද ආශ්‍රිතව ඉදිමුම්, ආසාදන, කිසියම් වේදනාවක් හෝ අසාමාන්‍ය බවක් දැනෙනවා නම් වහාම ක්‍රියාත්මක වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා.

 

නිය පොතු ගැන හිතනවා ද?

 

නිය පොතු ආශ්‍රිත ආසාදන, රූපලාවණ‍ය සත්කාර කිරීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැන ඔබට තරමක අවබෝධයක් ඇති. පෝෂණ ඌනතාවයක් නිසා ඇතිවෙන සහ ඉක්මනින් ම නැතිවී යන සුදු පැහැති ලපවලට අමතරව කළු, දුඹුරු හෝ දම් පැහැති ලප නිය පොතු මත මතු වෙනවා නම් එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් විදියට සලකන්න. මේ නිසා, ඔබ පුරුද්දක් විදියට නිය ආලේපන ගල්වනවා නම් ඒවා ඉවත් කරන අවස්ථාවලදී නිය මත මෙවැනි ලප හෝ යම් අසාමාන්‍ය තත්ත්වයන් මතුවෙලා තියෙනව ද කියලා නිරීක්ෂණය කරන්නත් අමතක කරන්න එපා.

 

පාදවල සුවපහසුවට

 

මද උණුසුම් ජලයේ පෙඟවීමෙන් පාදවලට පුදුමාකාර සුව පහසු බවක් දැනෙනවා කියලා දැනගෙන හිටියට එයින් ලැබෙන ප්‍රතිඵල ගැන එතරම් දැනුවත් නැතුව ඇති. රුධිර ගමනාගමනය හොඳින් සිදුවීම, පාදවල ඉදිමුම අඩුවීම, බැක්ටීරියා ඉවත්ව පිරිසුදු වීම කියන වාසිවලට අමතරව දෙපා සහ මුළු සිරුරම ලිහිල් කරවන්නත් මේ සත්කාරයට හැකියාව තියෙනවා. ඊට අමතරව, මඳ උණුසුම් වතුරට ලුණු කුඩු ස්වල්පයකුත් එකතු කරනවා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්කම ලැබෙනවා.

 

නිය පොතු පිරිසුදු කරන්නේ මෙහෙමයි

 

දෑත් දෙපා හොඳින් සේදුවට විතරක් මදිනේ. නිය පොතු ඇතුළේ තියෙන විසබීජ ඉවත් වීමත් අනිවාර්යයෙන් සිදුවෙන්න අවශ්‍යයි. High quality nail brush එකක් භාවිත කරලා අපහසුවකින් තොරව සහ නියපෙළට හානි නොවෙන පරිදි මේ කටයුත්ත සිදු කරගන්න ඔබට හැකියාව තියෙනවා. පිරිසුදු නියපොතු නිසා දෑත් සහ දෙපා ලස්සන වෙනවා විතරක් නෙවෙයි, ඔබේ නීරෝගි බවටත් මෙය හේතුවක් වෙනවා නොඅනුමානයි.

 

සම්බාහනය කිරීම

 

අත්, කකුල් පිරිසුදු කිරීමෙන් පසුව හොඳින් පිසදමා වියළා ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු වන්නේ වතුර රැඳී තීබීම, සමේ වියළි බවට හේතුවක් වන නිසයි. සෝදා වියළා ගත් දෑත් සහ දෙපාවල සුදුසු moisturizer cream ස්වල්පයක් ආලේප කර මෘදුව සම්බාහනය කිරීම ඊළඟ පියවර වෙනවා. මේ කරුණු දෙක අනුගමනය කිරීමෙන් දෑත් සහ දෙපාවල පෙර නොදුටු ආකාරයේ වෙනසක් ඔබට දැකගන්නට ඉඩ ලැබේව්. ඒ වගේම දෑත් සහ දෙපාවල sunscreen ආලේප කරනවා නම්, ඔබ ඉර එළියට නිරාවරණය වන කාල සීමාවට ගැළපෙන ආකාරයේ SPF අගයකින් යුතු sun cream එකක් මිලට ගන්නටත් අමතක කරන්න එපා.

Hangnails

 

නිය පොතු කෙටි කර කැපීම සහ hang nails වලට ප්‍රතිකාර කිරීම ඔබේම සුව පහසුව සඳහා හේතුවක් වනවා. සාමාන්‍ය යෙන් hangnails ඇතිවීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ සමේ වියළි බවයි. විනාඩි 15ක් පමණ මඳ උණුසුම් ජලයේ පොඟවාගත් ඇඟිලිවල වතුර පිසදා moisturise ස්වල්පයක් ආලේප කරන්න. ඉන් පසු ප්‍රවේශමෙන් hangnails කපාදමා, ඉක්මනින් සුව වීම සඳහා එම ස්ථානයේ antibiotic cream ස්වල්පයක් ආලේප කරන්න.

 

මේ විදිහට මුහුණට දක්වන සැලකිල්ලම දෑත් දෙපාවලටත් දැක්වූවොත් ඔබේ රූමත් බව තවත් වැඩි දියුණු කර ගත හැකියි.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී,

නයනා කුමාරි, සැලෝන්

NayanaArt

Tharunie