Wednesday, April 24, 2024
Follow Us
කුරුලෑ පිරුණු මුහුණට සමු දෙන්න

රැකියාවට, පාසලට හෝ උත්සවයකට ගොස් වෙහෙස මහන්සි වී නැවත නිවෙස කරා එනවා. එසේ පැමිණ කණ්ණාඩියෙන් මුහුණ දෙස බලා එය පසුදා උදෑසන පිරිසුදු කරන බවට තමාටම පොරොන්දු වෙමින් නින්දට යනවා. නමුත් ඊළඟ දින උදෑසන අවදි වන්නේ කුරුලෑවලින් පිරුණු මුහුණක් සමඟය. මෙවැනි අවස්ථාවලට ඔබත් අනිවාර්යයෙන් මුහුණ දී ඇති. එහෙත් මෙය වැරැදි පුරුද්දකි.

උදෑසන මුහුණ සේදීමට වඩා රාත්‍රීයේදී මුහුණ පිරිසුදු කිරීම වැදගත්ය. දිවා කාලයට සාපේක්ෂව රාත්‍රියේදී සෛලවල ක්‍රියාකාරිත්වයේ වේගය වැඩිය. නින්දට පෙර නිසි සැලකිල්ලක් සම කෙරෙහි නොදක්වන්නේ නම් සම මත ඇති කුණු, දූවිලි හා තෙල් එම ක්‍රියාවලියට බාධා ඇති කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ ඇති වීම, ඉරි තැළීම හා අකලට සම වයසට යාම වැනි චර්ම රෝග ප්‍රශ්න ඇති වේ. කෙතරම් තෙහෙට්ටු තත්ත්වයක පසු වූවත්, නින්දට පෙර පහත දැක්වෙන ක්‍රමවේද අනුගමනය කිරීමෙන් කුරුලෑ හා රැලි වැටීම්වලින් තොර නීරෝගි සමක් ලබා ගත හැකියි.

 

රාත්‍රී ආහාර වේලට කොළ පැහැති එළවළු

ශරීරයෙන් විස සහිත දෑ ඉවත් කිරීම සඳහා මෙන්ම නීරෝගි, ප්‍රබෝධවත් සමක් සමඟ උදෑසන අවදි වන්නට අවශ්‍ය නම් සවස හෝ රාත්‍රීයේදී කොළ පැහැති එළවළුවලින් සෑදූ ජූස් වීදුරුවක් හෝ එළවළු වැඩියෙන් සමන්විත සැහැල්ලු ආහාර වේලක් ලබා ගත හැකියි. ශරීරය තුළ පවතින විස කාරක සමෙහි කුරුලෑ ඇති කිරීමට හේතු වේ. කොළ පැහැති පලා හා එළවළුවලට මේ විස ද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කිරීමේ බලයක් තිබේ. දවස පුරා සමට දිදුලන බවක් එක් කිරීම සඳහා පහසුවෙන් නිවිතිවලින් සෑදූ ජූස් විදුරුවක් හෝ සැලඩ් පිඟානක් අනුභව කළ හැකියි.

ක්ලෙන්සර් භාවිතය

ක්ලෙන්සර් භාවිත කළ යුත්තේ මේක් අප් ඉවත් කිරීම සඳහා පමණක් නොවේ. මෙය දෛනිකව ජීවිතයට එකතු කර ගත යුතු පුරුද්දකි. කෙතරම් වෙහෙස මහන්සි වී නිවෙස බලා පැමිණියත් නින්දට පෙර හොඳින් මුහුණ සෝදා පිරිසුදු කළ යුතුය. පළමුව මුහුණේ ඇති මේක් අප් ඉවත් කොට සමට සුදුසු මෘදු ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරමින් සම මත ඇති කුණු, දූවිලි ඉවත් කර ගත හැකියි. මින් කුරුලෑ ඇති වීමේ අවදානම අඩුවේ.

තෙල් සහිත සමක් නම් එක්ෆෝලියේටර් එකක් සතියකට දෙවතාවක් පමණ භාවිත කිරීමෙන් මැරුණු සම ඉවත් කළ හැකි වේ. සම මත ඇති මැරුණු සම කුණු හා තෙල් සමඟ මිශ්‍ර වූ විට කුරුලෑ හට ගනී. මේ තත්ත්වය එක්ස්ෆෝලියේටර් එකක් භාවිත කිරීමෙන් මඟ හරවා ගත හැකියි.

 

මොයිස්චරයිසර් කිරීමට අමතක නොකරන්න.

දිනපතා සමෙහි තෙතමනය ආරක්ෂා වන සේ කටයුතු කළත් එය ප්‍රමාණවත් නොවේ. රාත්‍රී නින්දට පෙර සමට හිතකර මොයිස්චරයිසර් එකක් භාවිත කිරීමෙන් පසුදා උදෑසන ප්‍රබෝධවත්, දිදුලන සමක් ලබා ගත හැකියි. කෙසේ නමුත් මොයිස්චරයිසර් භාවිත කිරීමට පෙර සම හොඳින් ක්ලෙන්සර් කළ යුතු වේ.

 

ස්මාට් ෆෝන් එක ද නිදි කරවන්න.

දැන් ශරීරය අභ්‍යන්තරය පිරිසුදු ව තබා ගැනීමට කටයුතු කර ඇත. බාහිර සම ආරක්ෂා කිරීම සඳහා අප සඳහන් කළ උපදෙස් පිළිපදිනවා ඇත. දැන් කළ යුත්තේ නිදා ගැනීමට පෙර දුරකථනයෙන් ඈත් වීමයි. දිනපතා දුරකථනය මත විස බීජ රාශියක් තැන්පත් වේ. එය නිතරම පිරිසුදුව තබා ගත්තත් 1% පමණ වූ සුළු විස බීජ ප්‍රමාණයකට ඔබගේ සමත් සමඟ ප්‍රතික්‍රියා කළ හැකියි. නීරෝගි සමක් සහිතව උදෑසන අවදී වීමට අවශ්‍ය නම් නිදා ගැනීමට පෙර දුරකථනය ඈත් කර තබන්න.

 

කාලය පිළිබඳ විමසිලිමත් වන්න.

බොහෝ සමීක්ෂණවලට අනුව හෙලිවී ඇත්තේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම කුරුලෑ ඇති වීම සඳහා බලපාන එක් ප්‍රධාන හේතුවක් බවයි. සුව නින්දක් ලබා ගැනීම නීරෝගි, සුන්දර රූ සපුවක් පවත්වා ගැනීමට උපකාරි වේ. පැය 8ක් නිදා ගත්තත්, උදෑසන අවදිවන්නේ දැඩි තෙහෙට්ටුවක් හා කුරුලෑ හට ගත් සමක් සහිතව නම් ඒ මක් නිසා ද යැයි සොයා බැලිය යුතුය. සමහරවිට මධ්‍යම රාත්‍රීය පසු වී නින්දට යනවා වන්නට පුළුවන. හැකි පමණින් 11ට පෙර නින්දට යන්නට උත්සාහ ගන්න. ඉඳ හිට මේ රටාව ඔබට කඩ කළ හැකි නමුත් එය පුරුද්දක් බවට පත් නොකරන්න.

 

සේද රෙදිවලින් නිම වූ කොට්ට ඇතිරිලි

සේද රෙදිවලින් නිම වූ කොට්ට ඇතිරිලි භාවිත කිරීමෙන් සම රැලි වැටීම, කුරුලෑ ඇතිවීම වැනි චර්ම ප්‍රශ්න මඟ හරවා ගත හැකියි. දරුණු කුරුලෑ තත්ත්වයකින් පීඩා විඳින්නේ නම් දිනපතා කොට්ට ඇතිරිලි මාරු කිරීම යෝග්‍ය වේ. කෙතරම් මුහුණ පිරිසුදුව තබා ගත්තත්, කොට්ට ඇතිරිලිවල විස බීජ තැන්පත් වී ඇත්නම් ඉන් ඵලක් නොවේ. එම නිසා නොවරදවාම පිරිසුදු ඇඳ, කොට්ට ඇතිරිලි භාවිත කරන්න.

රාත්‍රී නින්දට පෙර සිදු කළ යුතු මුහුණ ක්ලෙන්සර් කිරීමේ ක්‍රියාවලිය අතපසු වන්නේ අලස කම නිසාය. සමහර කාන්තාවන් මුහුණ ක්ලෙන්සර් කර පිරිසුදුව තබා ගත්තත්, මේක් - අප් ඉවත් කර නින්දට ගියත් කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ. එසේ නම් ආහාර වේල පිළිබඳ සැලකිලිමත් වන්න. හොඳින් ජලය පානය කරමින් දවස පුරා සමේ තෙතමනය ආරක්ෂා කරගන්න. මෙසේ කටයුතු කළොත් උදෑසන නීරෝගි සමක් සහිතව අවදි විය හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

සැලෝන් මූඩ්ස්

Tharunie