Friday, May 03, 2024
Follow Us
Microdermabrasion (මයික්‍රොඩර්මබ්‍රේෂන්)

හුඟක් අයට මේ නම හුරු නැති වෙන්න පුළුවන්. හේතුව සාමාන්‍ය සැලොන් වල මේ ප්‍රතිකාරය කරන්නේ නැති නිසයි. මේ ප්‍රතිකාරය කරන ශිල්පියාට ඒ ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් සමඟ ඉතාමත් හොඳ පළපුරුද්දක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් ලස්සන කරගන්න යන මූණ කැත කරගෙන ඔයාට එන්න පුලුවන්.


ප්‍රසිද්ධ skin clinic වල පවා මේක කරගන්න ගිහිල්ලා මට වෙච්ච අත්දැකීම ධනාත්මක නැහැ. ඉතින් අතිශය පරිස්සමෙන් මනා දැනුමක් අවබෝධයක් ඇතිව කළ යුතු නිසා සාමාන්‍ය රූපලාවන්‍යාගාරවල මේක දකින්න ලැබෙන්නේ නැහැ. මගේ රූපලාවන්‍යාගාරයෙත් මේ ප්‍රතිකාරය කරන්නේ මගේ අත්වලින් විතරයි.
microdermabrasion වලින් කෙරෙන ප්‍රධානම කාර්යය ඔබේ සම මතුපිට මැරුණු ඒකාකාරී නැති ස්ථරය (epidermis) සියුම් ලෙස ඉවත් කිරීමයි. හරියට අපි වැලි කඩදාසියක් බිත්තියට අල්ලලා කරන ක්‍රියාවලිය වගේ. ඉතින් හිතාගන්න පුළුවන්නේ මේකට පළපුරුද්දක් තිබුණේ නැත්නම් වෙන දේ. සාමාන්‍ය ස්ක්‍රබ් එකකින් සිද්ධ වෙනවට වඩා කිහිප ගුණයක් වැඩියෙන් මෙමගින් අපේ සමේ ඉහළම ස්ථරය ඉවත් වෙනවා.
සාමාන්‍යයෙන් මැරුණු සම ස්වභාවිකව ඉවත් වෙන්න සති තුනක පමණ කාලයක් යනවා. ඔබ දන්නවාද ඒක ඉවත් වෙනතුරු අලුත් හම සකස් වෙන්නේ ඉතා හිමින් බව. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා ඒක ඉවත් කරන්නේ. එහෙම කරන කෙනෙක් සහ නොකරන කෙනෙක්ගේ සමේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.
මැරුණු සම ඉවත් නොකළොත් හැමදාමත් ඔයාගේ මූණ මතුපිටින් දකින්න පුළුවන් වෙන්නේ මැරුණු සමක් විතරමයි. මොකද මේක දිනපතා සිද්ධවෙන ක්‍රියාවලියක් නිසා. ඉතින් අපි ඊටත් වඩා ඉක්මනින් ටිකක් වැඩිපුර ඒ සම ඉවත් කලහම අලුත් සම ඉතා ඉක්මනින් නැවත සැකසෙනවා අලුත්ම විදියට. එහෙම සැකසෙද්දි බොහෝ විට මුහුණේ තිබුන පැල්ලම් කුරුලෑ ලප කැලැල්, අව්වට පිළිස්සුනු සම, පිග්මන්ටේෂන් ආදී දේවල් නැතිවෙමින් තමයි අළුත් සම එන්නේ. ඉතින් මේ ප්‍රතිකාරය අපි නියම කරන විදියට හරියට කළොත් ප්‍රතිඵල ඉතා ඉහළයි.
මේ ප්‍රතිකාරය කරන්නේ විශේෂිත වූ උපකරණයකින්. මේ උපකරණ වල පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඉතා විශිෂ්ඨ මට්ටමින් තියෙන්න ඕනේ. කොහොම වුනත් අපි රූපලාවණ්‍යාගාරයකට යනකොට ඒකෙ පිරිසුදුකම ගැන නම් හොයලා බැලීම ඉතාමත් වටිනවා. අපි ඉදිරි ලිපියක කතා කරමු රූපලාවන්‍යාගාරයක තිබිය යුතු පිරිසිදු කිරීමේ උපාංග මොනවාද කියලත්.
ගැඹුරු නොවූ කුරුලෑ කැලැල් (acne scars )
කුරුලෑ ලප acne scares)
වියපත් වීමේදී සමේ ඇතිවෙන රැලි( fine lines)
ඉර එළිය නිසා අවපැහැ වීම (Tanning )
Melasma වැනි pigmentation
සමේ මතුපිට රළු ගතිය
Stretch marks
යටි පතුල්වල රළු ගතිය
වැනි සමේ තියෙන ගැටළුවලට මෙය හොඳ ප්‍රතිකාරයක්. මම සාමාන්‍යයෙන් සැලොන් එකට අයිබ්‍රෝ හදන්න එන කෙනෙක් මූණට ගාන ක්‍රීම් එකක් ඇහුවට කවදාවත් recommend කරන්නේ නැහැ. ඇත්තටම මට එහෙම කරන්න බෑ. මුහුණකට ගැලපෙන ආලේපන තෝරා දෙන්න නම් මුහුණේ තියෙන කැලිකසල ටික ඉවත් කරලා සමේ ස්වභාවය බැලිය යුතු වෙනවා. ඉතින් එහෙම වෙලාවට අපි කිවුවම clean up එකක් කලොත් තමයි ඒක කියන්න පුළුවන් වෙන්නෙ කියල එයාලා හිතනවා කීයක් හරි කඩාගන්න තමයි මේ බලන්නෙ කියලා. මේ වගේ මානසික තත්ත්වයන් ඉතින් අපට පොලිශ් කරල ගන්න බැහැ මූණ පොලිශ් කරනවා වගේ.
ආලේපනයක් වුණත් සමට උරා ගන්න නම් ඒක අවහිරතා නැති කුණු නැති, තෙල් නැති හොඳ අලුත් සමත් විය යුතුයි. ඉතින් මුහුණේ තියෙන කැලි කසළ ඉවත් කරන්න මේක හොඳ ප්‍රතිකාරයක්. මේ ප්‍රතිකාරයෙන් පස්සේ ඔයාලා පාවිච්චි කරන ආලේපන වල වුණත් සඵලතාවය වැඩි වෙනවා. මොකද ඉන් පස්සෙ ඒ ආලේපන වලට ඔයාගේ මැරුණු හම අස්සෙන් රිංගන්න තියෙන රාජකාරිය නැති වෙනවා නේ.
කුරුලෑ නැති, අලුත් තුවාල නැති ඕනෑම සමකට මේ ප්‍රතිකාරය සුදුසුයි. මේ ප්‍රතිකාරය කලාට පස්සේ විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ හිරු කිරණින්. හිරු ආවරණ සහිත ආලේපන අනිවාර්ය වන අතර කෙලින්ම හිරු එළිය මුහුණට වැටෙන අවස්ථාවන් මග හැරිය යුතුයි. එහෙම නැත්නම් මේකෙන් ලැබෙන පැහැපත් වීම හා සම්බන්ධ ප්‍රතිඵලයේ අඩුපාඩු වෙන්න පුළුවන්. මේක whitening ප්‍රතිකාරයක් හැටියටත් සලකනවා. සමේ ඇතිවන මූලික රැලිවලට ( fine lines) පවා මෙය හොඳ ප්‍රතිකාරයක්. මේ කිසිසේත්ම වේදනාකාරී ප්‍රතිකාරයක් නෙමෙයි. යම් වේදනාවක්, අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒක ශිල්පියාගේ වරදක් බව හොඳට මතක තබා ගන්න.
Microdermabrasion වාර අතර පරතරය තීරණය කරන්නේ ඔබේ ශිල්පියා විසින්. ඒක ඔබේ මුහුණේ තත්ත්වය බැලුවට පස්සේ තීරණය කරන දෙයක්. ප්‍රතිකාරය කළ විගසම අදාළ ප්‍රදේශවල රතුවීමක් , සුළු ඉදිමුම් තත්වයක් දැවිල්ලක් ඇති වෙන්න පුළුවන් . නමුත් ඒක පැය කීපයකින් හරි යනවා.
microdermabrasion වගේම තව ප්‍රතිකාරයක් තියෙනව dermarbrasion කියල . ඒක කරන්නෙ වෛද්‍යවරු විසින්. ඒකනම් ටිකක් බරපතළ වෙන්න පුළුවන් ප්‍රතිකාරයක්. කිරිමේ අරමුණ බොහෝ විට කුරුලෑ කැළැල් සඳහා ප්‍රතිකාරයක් හැටියටයි. ඉතින් සමහරු මේ වචන දෙක පටලවාගෙන කියලා අමාරුවෙ වැටෙන්න බැරි නෑ. ඒ වගේම තමයි එකපාරක් දෙපාරක් කරලා ආශ්චර්යන් වෙයි කියලා බලාගෙන ඉන්නත් එපා... විශේෂයෙන් කුරුලෑ කැළල් වලට අඩුම ගානෙ ප්‍රතිඵලයක් පෙන්නන්න වාර දහයක්වත් කරන්න වෙනවා ඒකත් එක දිගට..... කරන කෙනා උපදෙස් දෙන කාල පරාසය තුළ.
ඒ වගේම මේ microdermabrasion ප්‍රතිකාරය හිස හැර සමේ ඕනෑම ප්‍රදේශයකට කරන්න පුළුවන් ප්‍රතිකාරයක්. ඒ වගේම අවුරුදු 12 න් ඉහළ වයස් වල ඉන්න ඕනෑම කෙනෙකුට ගැහැනු පිරිමි භේදයක් නැතුවත් මේ ප්‍රතිකාරය කරගන්න පුළුවන්.
මතක් වෙන මතක් වෙන හැටියට ලිව්වා. ප්‍රශ්න තියෙනවනම් ඔයාලට අහන්න පුළුවන් කමෙන්ට් කරල. මුහුණු පොතේ කිසිම තැනක මේ ප්‍රතිකාරය ගැන ලිපි තියෙනවා මම දැකලා නැහැ. ඉතින් තමන්ගේ වගේ මේකෙ කරුණු පලකරන්න ආසාවක් ඇති වුණොත් ඒක හොරකමක් කියලා මතක තියාගන්න එක හොඳයි.

Beauty Secrets with Rapunzel