Friday, May 03, 2024
Follow Us
තෙල් ගැල්වීම සම්බාහනයට පමණක් සීමා නොකරමු

තෛල අභ්‍යංගය නොහොත් තෙල් ගෑම දෛනිකව කළයුතු නිරෝගිතාව පවත්වා ගැනීම උදෙසා කළ හැකි අතිශය වැදගත් දෙයකි.අද වනවිට බොහෝදෙනා මෙය ප්‍රතිකාර සඳහා පමණක් සීමාකොට තිබේ.

තෙල් ගෑම සහ අංග මර්ධනය නොහොත් සම්බාහනය යනු කොටස් දෙකකි. එසේම නීරෝගී පුද්ගලයා තම නිරෝගීබව පවත්වා ගෙන යෑමට තෙල් ගෑම සහ යම්කිසි පීඩාවකදී තෙල් ගෑම යනු අවස්ථා දෙකකි.

යම්කිසි පීඩාවකදී තෙල් ගෑම ප්‍රතිකාරයක් සඳහා කෙරෙන්නකි.

තෙල් ගාමින් පිරිමැදීමට අමතරව තෛල පූර්ණය හෙවත් තෙල් පුරවා තැබීම තවත් අංගයකි.මෙහිදී කර්ණ පූර්ණය නොහොත් කනෙහි තෙල් පුරවා තැබීම, අක්ෂි පූර්ණය නොහොත් ඇසෙහි තෙල් පිරවීම, නාභියෙහි තෙල් පුරවා තැබීම....මේ යටතේ සිදුවේ.

තෙල් ගෑම ලෙසින් මූලික වශයෙන් අදහස් කරන්නේ සමෙහි තෙල් ගෑමය. හිසෙහි තෙල් ගෑම වෙනත් අංගයකි.

හිසෙහි තෙල් ගෑමට අමතරව තෙල් වත් කිරීමක් ද සිදුවේ. මෙය ශීරෝධාර ප්‍රතිකර්මයයි.හැමවිටම හිස සේදී සේදී යනපරිදි සියුම්ව තෙල් වත් කිරීම මෙහිදී සිදුවේ.

මේ සියලු දෑ සිදුවන්නේ එක්කෝ ස්වස්ථතාව සඳහා යි. නැතිනම් යම් පීඩාවකදීයි. ස්පර්ශ ඉන්ද්‍රීය ලෙස සැලකෙන සම අපට ඇති විශාලතම ඉන්ද්‍රීයයි. බාහිර පරිසරයේ ඇති වෙනස්වීම් හඳුනා ගන්නේ ද සමයි. අනතුරු ඇඟවීම් ආදිය ද සම හඳුනා ගනියි. එබැවින් සම ඉතාම නීරෝගීව පවත්වා ගත යුතුවේ. සම කෙනකුට පෞරුෂ්‍යත්වය ගෙන දෙයි. ප්‍රසන්නතාව ගෙන දෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් සියල්ල බාහිර පරිසරයෙන් ආරක්ෂා කරන්නේ සමයි. ආයුර්වේදයට අනුව සම ආරක්ෂක ඉන්ද්‍රීයයකි. ශරීර උෂ්ණත්වය යාමනය කරමින් සම වැදගත් කාර්යභාරයක නිරත වෙයි.

සමේ බාහිර ස්ථරය මිය ගිය එකකි. රුධිර නාළ ගමන් කරන්නේ සමේ පළමු ස්ථරයේය. සම මතුපිටට වන්න වන්න රුධිර සැපයුමක් වන්නේ නැත. එසේනම් මතුපිට සමට තෛල අභ්‍යංගයෙන් හොඳ පෝෂණයක් ලැබේ.

(Tharunie)