Thursday, May 16, 2024
Follow Us
කොහොමද සමට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා ගන්නේ...

හැඩට වැඩට අඳින්න පළඳින්න කොයි කෙනාද අකමැති. කාර්යාලයට, ගමනට බිමනට, විනෝද චාරිකාවකට, මිතුරන් හමුවෙන්න යන්න ලස්සනට සැරසෙන්න අපේ යුවතියන් පසුබට වෙන්නෙ නම් නැහැ. මේක් අප් එකක පදනම වෙන්නේ ෆවුන්ඩේෂන් එක කියලා ඔබ දන්නවා ඇති. ඔබේ මේක් අප් එකකට ගැළපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරා නොගත්තොත් ඔබ බලාපොරොත්තු වන විදිහේ මේක් අප් එකක් ලැබෙන්නේ නෑ. මේ කාරණය ගොඩක් වැදගත් වෙන්නේ තනියම මේක් අප් එකක් දා ගන්න ඕන වුණාම. මොකද අද තියෙන සාද, උත්සව හැම එකටම සැලෝන් එකකට යන්න ඔබ වේලාවක් නැති වෙන්නත් පුළුවන්. ඉතිං ඔයා තනියම මේක් අප් එකක් කර ගන්නවා නම් ඔයාට ගැළපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරා ගෙන තිබීම ඉතාමත් වැදගත්.

සමේ වර්ගය වැදගත්..

ඔයාගේ සමේ වර්ණය අනුව ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීම ඉතා වැදගත්. එකිනෙකාගේ සමේ වර්ණය එකිනෙකට වෙනස්. ඔබේ මිතුරියට ගැළපෙන ෆවුන්ඩේෂන් එක ඔබේ සමට ගැළපෙන්නේ නෑ. ඔබ කොහොමද ඔයාගේ සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නේ.

 

බ්‍රෑන්ඩ් එකේ ගුණාත්මකභාවය...

අපි මොනවා හරි නිෂ්පාදනයක් මිලදී ගන්න කලින් ඒ නිෂ්පාදනයේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලනවානේ. මොකද ප්‍රමිතිය වැදගත්. ඉතිං ඔබ මුහුණ සඳහා විතරක්ම නෙමෙයි මොනවම හරි නිෂ්පාදනයක් මිලදී ගන්න කලින් එහි බ්‍රෑන්ඩ් එක මොකක්ද ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ බලන්න අමතක කරන්න එපා. හැම නිෂ්පාදයක්ම ඔබේ සමට ගැළපෙන්නේ. මොකද ඔබ හොඳ බ්‍රෑන්ඩ් එකක් මිලදී ගත්තොත් එයින් ඔබේ සමට වෙන හානිය අවම කර ගන්න පුළුවන්. කොතරම් මිල අධික ෆවුන්ඩේෂන් එකක් තෝරා ගත්තත් වැඩක් නෑ සමට ගැළපෙන්නේ නැත්තම්.

 

ටෙස්ට් කරලා බලන්න

ඔයා කඩේට ගිහිල්ලා ෆවුන්ඩේෂන් එකක් ඉල්ලුවම ඔබට විවිධ වර්ගයේ ෆවුන්ඩේෂන් වර්ග දෙයි. එහිදි ඔබ වඩාත් විමසිලිමත්ව ඔබේ සමට ගැළපෙන ෆවුන්ඩේෂන් වර්ගයක් තෝරාගත යුතුයි. මොකද ඒ හැම වර්ගයකම ෆවුන්ඩේෂන් ගැළපෙන්නේ නෑ. සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක මිලදී ගන්න කලින් ටිකක් ටෙස්ට් කරලා බලන්න. ගොඩක් දෙනෙක් ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්නේ අතේ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කරලා. මේක ෆවුන්ඩේෂන් එකක් ටෙස්ට් කරලා බලන නිවැරදි ක්‍රමය නම් නෙමෙයි. මොකද මුහුණේ පැහැය හා අතේ මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ පැහැය එකිනෙකට වෙනස්. එවිට ඔබගෙ මුහුණට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක නිවැරදිව තෝරා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ෆවුන්ඩේෂන් ටිකක් මුහුණේ ආලේප කරලා බලන්න. ෆවුන්ඩේෂන් එකක් ආලේප කරපු ගමන් සමට ගැළපෙනව ද කියලා හරියටම හොයා ගන්න බෑ. ටික වේලාවක් ගියාම ෆවුන්ඩේෂන් එක සමට උරා ගන්නවා. එතකොට ඔබට පුළුවන් සමට හරියටම ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න.

 

සුදුසු ආලෝකයකදි ආලේප කළොත්

සමාන්‍යයෙන් වෙළෙඳසැළක් ඇතුළේ තියෙන්නේ දීප්තිමත් කෘත්‍රීම ආලෝකය. සමහර විට ඒ ආලෝකය කහ හෝ සුදු පාට විය හැකියි. ඉතිං ඒ වගේ තැනක ඉඳලා හරියටම ගැළපෙන ෆවුන්ඩේෂන් එක මඳක් තෝරා ගන්න අපහසුයි. මේ සඳහා තියෙන හොඳම විසඳුම තමයි ස්වභාවික ආලෝකයකදී ඒ කියන්නේ ජනේලයක් ළඟට හෝ එළිය ඇති තැනක සිට ෆවුන්ඩේෂන් එකක් ආලේප කරලා සමට ගැළපෙනම ෆවුන්ඩේෂන් එක තෝරා ගන්න එක.

 

භාවිත කරන්න පුළුවන් ආකාර

ෆවුන්ඩේෂන් භාවිත කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. ස්ටික් ආකාරයට, පවුඩර් එකක් ආකාරයට එහෙමත් නැත්තම් දියරමය වශයෙන් ද ෆවුන්ඩේෂන් එකක් ලබාගන්න පුළුවන්. ඔබේ සමේ වර්ණය අනුව තමයි ගැළපෙනම ෆවුන්ඩේෂන් එක මොකක්ද කියලා දැන ගන්න වෙන්නේ. ඔබට තියෙන සමේ ස්වභාවය අනුව තෝරාගත යුතු ෆවුන්ඩේෂන් එකද වෙනස් වෙනවා.

 

සමේ ස්වභාවය අනුවත් ෆවුන්ඩේෂන් එක වෙනස් වෙනවා...

 

වියළි සමක් නම්...

ඔයාගේ සම වියළි සමක් නම් දියරමය ෆවුන්ඩේෂන් එකක් හෝ ෆවුන්ඩේෂන් ස්ටික් එකක් තෝරා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මෙමගින් සමේ වියළි බව අඩුකරනවා.

 

තෙල් සහිත සමක් නම්...

ඔබට තියෙන්නේ තෙල් සහිත සමක් නම් තෙල් රහිත දියරමය හෝ පවුඩර් ලෙස පවතින ෆවුන්ඩේෂන් එකක් භාවිත කරන්න. පවුඩර් මගින් ඔබේ සමේ තෙල් උරා ගන්න නිසා තෙල් අධික බව පාලනය වෙනවා. ඒ විතරක් නෙමෙයි මුහුණට දීප්තියක් ලැබෙනවා. ඊට අමතරව මුහුණේ ඇති වී තිබෙන කුරුළෑ අසාදන තත්ත්වයන් මෙමගින් අවම කර ගන්න පුළුවන්.

 

සමාන්‍ය සමක් නම්...

සම සාමාන්‍ය නම් තෙල් සහිත හෝ වියළි බවක් නොමැති නම් ඔබට ගැළපෙන්නේ පවුඩර් වර්ගයේ ෆවුන්ඩේෂන් එකක්. මෙවැනි වර්ගයේ ෆවුන්ඩේෂන් එකකින් ඔයගේ සම රැලි වැටීම පෙන්නුම් කිරීම අවම කර මුහුණ දීප්තිමත්ව පවත්වා ගන්න උපකාරී වෙනවා.ඒ කොහොම වුණත් මේක් අප් කරන්න පටන් ගත්තේ මෑතකදී නම්, මේකප් කිරීම ඔබට ආධුනික නම් හොඳම දේ තමයි පවුඩර් වර්ගයේ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්න එක.

 

 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී

හසිනි ගුණසේකර

(Nawaliya)