පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තුළ දරුවන් විජලයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටී.
වෛද්‍යවරයා අවධාරණය කරන්නේ යම් දරුවෙකු නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට වැඩිපුර ජලය පානය කිරීමට සහ දියර ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසයි.
මෙම උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින නිසා දරුවන් දිනකට දෙවතාවක්වත් ස්නානය කරවීමට කටයුතු කරන ලෙසද ඔහු දැනුම් දී තිබේ.
ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගීවන අය ජලය පානය නොකිරීම හේතුවෙන් විජලන තත්ත්වය මෙන්ම තාප කම්පන තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවත් එමඟින් මරණය පවා සිදු විය හැකි බැවින් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ඒ මහතා අවධාරණය කරයි.