නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, කොළඹ නගරය තුළ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය මඟින් ඉදි කරන ලද ''සිරිසඳ සෙවන" නිවාස සංකීර්ණයේ නිවාස 22 ක්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව, සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් 22ක් සඳහා 2014 වර්ෂයේ දී වෙන්කර දීමේ දූෂණ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ (නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු වන මොහු, 2026.03.19 වන දින ප.ව. 12.31 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.