Monday, July 21, 2025
Follow Us
මඩකළපුව ශික්ෂණ රෝහලේ අඩුපාඩු රැසකට කඩිනම් විසඳුම්
මඩකලපුව දිස්ත්රික්කයේ ප්රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහල පසුගිය දා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
මෙහි දී මඩකලපුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, කිරීටක සත්කාර ඒකකය, මෞත්ර ලිංගික ශල්ය වාට්‌ටු, ශල්යාගාර, නේවාසික රෝගී ප්රතිකාර වාට්ටු, හදිසි ප්රතිකාර ඒකකය, රෝහලේ අනෙකුත් ප්රතිකාර අංශ මෙන් ම රෝහලේ සංවර්ධන ව්යාපෘති සහ එම ව්යාපෘතිවල වත්මන් තත්ත්වයන් මෙන්ම ඉදිරි මෙහෙයුම් කටයුතු ද අමාත්යවරයාගේ විශේෂ නිරික්ෂණයට ලක් විය.
 
දැනට වසර 20 කට පමණ ප්රථම වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සීමාවාසික වෛද්යවරයකු ලෙස සේවයේ නිරත වු රෝහලක් වන මඩකලපුව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්ය හා ජනමාධ්ය විෂයභාර අමාත්යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ප්රථම වරට පැමිණීම මෙහි දී විශේෂ සිදුවීමක් විය.
 
විෂයභාර අමාත්යවරයා ලෙස පත්වී ඉතා කෙටි කාලයක් තුළ නැගෙනහිර පළාතේ සෞඛ්ය සේවා ශක්තිමත් කිරීමට පියවර ගනිමින් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්රතිකාර සේවාවක් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සිදු කළ මෙම නිරීක්ෂණය සහ සේවා විධිමත් කිරිම සඳහා උපදෙස් ලබාදීම විශේෂඥ වෛද්ය, වෛද්ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පැසසුමට ලක්විය.
 
පසුගිය කාලය තුළ තම නිරීක්ෂණයට ලක් වු රෝහල් අතර අඩුපාඩු වැඩිම රෝහල මඩකළපුව රෝහල බවත්, පසුගිය කාලය පුරා අත්යාවශ්ය ගොඩනැගිලි ඉදිකිරීම් සිදු ව නොමැති බවත්, එම ගැටලු නිරාකරණයට පියවරෙන් පියවර කටයුතු කරමින් රෝහලේ භෞතික හා මානව සම්පත් අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
ප්රසව හා නාරිවේද ඒකකය ඇතුළු ප්රතිකාර වාට්ටු සහිත ගොඩනැගිල්ල වසර 80 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවත්, එම වාට්ටූ සංකීර්ණය සම්පූර්ණයෙන් ඉවත් කර නව වාට්ටු සංකීර්ණයක් ඉදිකළ යුතු බවට අදහස් කරන බැවින් කඩිනම් වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට අමාත්යවරයා පෙන්වා දුන්නේය. මහල් 06 ක නව වාට්ටු සංකීර්ණයක් සඳහා ප්රතිපාදන නොවැම්බර් මස අයවැය මගින් වෙන් කරමින් අදියර 03 කින් එම වාට්ටු සංකීර්ණය ඉදිකිරිමට කටයුතු කරන බව ද මෙහි දී අමාත්යවරයා ප්රකාශ කළේය. එමෙන්ම වකුගඩු ප්රතිකාර ඒකකයේ ඉතිරි ඉදිකිරීම් ඉදිරි මාස 02 ක කාලය තුළ ආරම්භ කිරීමට ද මෙහි දී තීරණය විය.
 
හදිසි අනතුරු ප්රතිකාර ඒකක ගොඩනැගිල්ල ඇතුළු ඉදිකිරීම් කටයුතු සහ සම්පූර්ණ ‌නොකළ ගොඩනැගිලිවල ඉදිකිරීම් සම්පූර්ණ කිරීම සඳහා මේ වසර තුළ මුල්ය ප්රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත්, නව MRI යන්ත්රයක් රෝහල තුළ ස්ථාපිත කිරීමට අවශ්ය සියලු කටයුතු කඩිනමින් ඉටුකරන බවත් අමාත්යවරයා මෙහි දී ප්රකාශ කළේය.