2026 මාර්තු මස 08 වන දින රැස්වූ අමාත්ය මණ්ඩලය විසින්, කෙටුම්පත සකස් කර අවසන් කිරීමට අනුමැතිය ලබාදුන් ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත පිළිබද මාධ්ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා (10) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යංශ ශ්රවණාගාරයේදී පැවැත්විය.
“තිරසර ජෛව ගෝලයක – සදාහරිත ජීවිතයක්” පාරිසරික ප්රතිපත්තිය යටතේ, ජෛව සුරක්ෂිතතාවය මෙන්ම සමස්ත පරිසර පද්ධතියම සුරක්ෂිත කරමින් මෙම පනත තුළින් හිමිවන ප්රතිලාභ පිලිබඳව එහිදී පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා මෙන්ම අනෙකුත් නිලධාරින් විසින් කරුණු පැහැදිලි කරන ලදී.
ජෛව සුරක්ෂිතතාවය (Biosafety) යනු නවීන ජෛව තාක්ෂණය මඟින් නිපදවන ජාන විකරණය කරන ලද ජීවීන් (Genetically Modified Organisms – GMO’s) පරිසරයට, ජෛව විවිධත්වයට සහ මිනිස් සෞඛ්යයට ඇති විය හැකි අවදානම් අවම කරමින්, ඒවායේ පර්යේෂණ, සංවර්ධනය, නිෂ්පාදනය, භාවිතය, ගබඩා කිරීම, ප්රවාහනය, ආනයනය, අපනයනය හා කළමනාකරණය ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගනු ලබන ප්රතිපත්තිමය, නීතිමය, ආයතනික හා තාක්ෂණික ක්රියාමාර්ග සමූහයයි.
ශ්රී ලංකාව ජෛවවිවිධත්වයෙන් අනූන රාජ්යයක් මෙන්ම ජෛවවිවිධත්වයෙන් උණුසුම් කලාපයක් ලෙස නම්කර ඇති අතර හෙක්ටයාර් 6,524,540 ක් වපසරියක් සහිත ආසියානු කලාපයේ වර්ග ඒකකයක් සඳහා වැඩිම ජීවී විශේෂ විවිධත්වයක් සහිත රටක් වෙයි.
ඒ අනුව ලොව ජාතීන් හා රටවල් අතර ජෛවවිවිධත්ව සංරක්ෂණය, ජෛවවිවිධත්වය තිරසර ලෙස භාවිතය හා ජාන සම්පත් භාවිතයෙන් ලැබෙන ප්රයෝජන සාධාරණව හා සමානව බෙදී යාමට සැලැස්වීම අරමුණු කරගනිමින් 1992 දී රියෝ ද ජෙනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී ජෛවවිවිධත්ව සම්මුතිය හඳුන්වා දී ඇති අතර ශ්රි ලංකාව මෙම සම්මුතියට 1994 දී අත්සන් තබා ඇත.
සම්මුතියේදී ජෛව තාක්ෂණය, ජෛව සුරක්ෂිතතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති අතර නවීන ජෛව තාක්ෂණයේ නිෂ්පාදනයන්ගෙන්, මානව සෞඛ්යට සහ පරිසරයට සිදුවිය හැකි අහිතකර බලපෑම් වලින් ආරක්ෂා වීමේ අවශ්යතාවය ජෛව සුරක්ෂිතතා සංකල්පය මඟින් පෙන්වා දෙයි.
ශ්රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වයෙන් ඉහළ රටක් වන අතර, බොහෝ දේශීය (Endemic) ශාක හා සත්ත්ව විශේෂවල නිවහනකි.
එමෙන්ම කෘෂිකර්මාන්තය රටේ ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපාය සහ ආර්ථිකයට වැදගත් අංශයක් වන අතර ජෛව සුරක්ෂිතතා පනතක් මඟින් ජෛව තාක්ෂණයේ ප්රතිලාභ ලබා ගනිමින් ජෛව විවිධත්වය, මානව සෞඛ්යය සහ පරිසර පද්ධතිවල අඛණ්ඩතාව ආරක්ෂා කළ හැකිය.
තවද ජීවමාන වෙනස් කළ ජීවීන් ආනයනය, අපනයනය, පර්යේෂණ, ක්ෂේත්ර අත්හදා බැලීම් සහ වාණිජ භාවිතය විනිවිදභාවයෙන් හා විද්යාත්මක පදනමක් මත නියාමනය කිරීම සඳහා අවශ්ය නීතිමය පදනමද මෙම පනත සපයයි.
සාරාංශයක් ලෙස, ජෛව සුරක්ෂිතතා පනතක් මඟින් ශ්රී ලංකාවට ජෛව තාක්ෂණික නවෝත්පාදනය සහ පරිසර සංරක්ෂණය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමට, යහපත් පාලනය ශක්තිමත් කිරීමට, ජාත්යන්තර බැඳීම් ඉටු කිරීමට සහ තිරසාර සංවර්ධනයට දායක වීමට හැකි වේ.
මෙම පනත් කෙටුම්පත යටතේ මධ්යම පරිසර අධිකාරිය ජාතික බලය ලත් අධිකාරිය ලෙස කටයුතු කරන අතර, අවදානම් තක්සේරු කිරීම, අවදානම් කළමනාකරණය, බලපත්ර නිකුත් කිරීම, නිරීක්ෂණය, අනුකූලතා පරීක්ෂා කිරීම සහ නීති බලාත්මක කිරීම සඳහා අවශ්ය විධිවිධාන ඇතුළත් කර ඇත.
එමෙන්ම LMOs සම්බන්ධ ආනයනය, අපනයනය, දේශ සීමා හරහා ප්රවාහනය, අඩංගු භාවිතය, පර්යේෂණ, පාරිසරික මුදා හැරීම සහ වාණිජ භාවිතය ආරක්ෂිතව නියාමනය කිරීම සඳහා අවශ්ය නීතිමය ප්රතිපාදන ද මෙම පනත් කෙටුම්පත මඟින් සලසා ඇත.
පනතේ අරමුණු ලෙස නවීන ජෛව තාක්ෂණයේ ප්රතිඵලයක් ලෙස බිහිවන LMO/GMO මඟින් ජෛව විවිධත්වයට / මානව සෞඛ්යයට / පරිසරයට ඇති අවදානම වළක්වන හෝ අඩු කරන ආකාරයෙන් සිදු කිරීම සහතික කිරීම අපේක්ෂිතය.
එමෙන්ම නවීන ජෛව තාක්ෂණයේ ප්රතිඵලයක් ලෙස බිහි කරන ලද ජාන විකරණය කරන ලද ජීවීන් යොදා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධනය, ඉගැන්වීම් සහ සොයාගැනීම්, නිෂ්පාදනය, අලෙවිකරණය, වෙනත් ඕනෑම වාණිජමය යොදාගැනීම්, හැසිර වීම, ප්රවාහනය, අන්තර් හුවමාරුව , ආනයනය, අපනයනය, ගබඩා කිරීම, විකිණීම, පාලනය කරන ලද තත්ව යටතේ භාවිතය ද ඇතුළුව සියළු භාවිතයන් සහ ප්රති අපනයනය, පැවරීම, බැහැර කිරීම සහ මුදා හැරීම ජෛව විවිධත්වයට හා මානව සෞඛ්යයට අවදානමක් නොවන හෝ අවම අවදානමක් ඇතිවන ආකාරයට සිදුකිරීම සහතික කිරීමද මෙහි තවත් අරමුණක්.
තවද ආනයන කිරීමේදී ජාතික බලයලත් අධිකාරිය (NCA) වෙත දැනුම් දෙන ලෙස අපනයනකරුවන්ට නියම කිරීම, ඕනෑම ජානමය වශයෙන් වෙනස් කරන ලද ජීවියෙකු ආනයනයට පෙර (දේශසීමා සංචලනයට පෙර) ජාතික නිසි බලධාරියාට ලිඛිතව දැනුම් දෙන ලෙස ඕනෑම අපනයනකරුවෙකුට නියම කිරීම සහ ආරක්ෂිත අන්තර් - දේශසීමා සහතික කිරීම සඳහා ප්රමාණවත් පියවර ගැනීමට ආනයනකරුවන්ට නියම කිරීම ආදී වශයෙන් පනතේ අරමුණු හැදින්වෙනවා.
ඒ අනුව ශ්රී ලංකාව වැනි රටකට ජෛව සුරක්ෂිතතා පනතක ඇති වැදගත්කම පිළිබඳව කරුණු දහයක් දක්වා ඇත.
එම කරුණු අතර ජෛව විවිධත්වය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, මානව සහ සත්ව සෞඛ්ය ආරක්ෂා කිරීම, ජාත්යාන්තර බැඳීම් ඉටු කිරීම, පැහැදිලි නීතිමය රාමුවක් සැපයීම, ආරක්ෂිත ජෛව තාක්ෂණ නවෝත්පාදනය ප්රවර්ධනය කිරීම, තිරසර කෘෂි කර්මාන්තයට සහාය වීම, වෙළඳාම සහ ආර්ථික අවස්ථා වර්ධනය කිරීම දැක්විය හැකියි.
එමෙන්ම ජෛව ආරක්ෂාව සහ අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම, ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, මහජන සහභාගිත්වය සහ විනිවිදභාවය ප්රවර්ධනය කිරීම ආදිය ද සඳහන් වෙයි.
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා, අමාත්යාංශයේ ලේකම් කේ.ආර් උඩුවාල මහතා, අචාර්ය ආර්,ඩී.එස් ජයතුංග මහතා අතිරේක ලේකම් (පරිසර සංවර්ධන අංශය),
මොහාන් හීනටිගල මහතා වැඩබලන අධ්යක්ෂ (ජෛව විවිධත්ව අංශය) යන අයද මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.