Friday, August 14, 2026
Follow Us
විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කරන දැවැන්ත වැඩපිළිවෙළක්

මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු හෝමාගමදී ආරම්භ කෙරුණි.

ඒ ඊයේ(13) බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ව්‍යාපෘතිය යටතේ පහත උපපොළවල් ඉදිකිරීමට සහ සම්ප්‍රේෂණ රැහැන් කොටස් සංවර්ධනය කිරීමට නියමිතය.

පැකේජය 1A –GIS ග්‍රිඩ් උපපොළවල්:
මීරිගම 220/33 kV GSS/SS සහ පෑලියගොඩ 132/33 kV GSS ඉදිකිරීම.
පැකේජය 1B –AIS ග්‍රිඩ් උපපොළවල්:
හෝමාගම 132/33 kV GSS සහ මීගමුව 132/33 kV GSS ඉදිකිරීම.
පැකේජය 2 –සම්ප්‍රේෂණ රැහැන්:
කිලෝමීටර 78 ක් දිගු හම්බන්තොට-මාතර 132 kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් සහ අනෙකුත් උපපොළවන් සදහා LILO (Line-In Line-Out) සම්බන්ධතා ඇතුළුව ග්‍රිඩ් 132 kV සහ 220 kV සම්ප්‍රේෂණ රැහැන් කොටස් සංවර්ධනය කිරීම.
පැකේජය 4 – භූගත සම්ප්‍රේෂණ කේබල්:
කැලණිය-කොටුගොඩ සම්ප්‍රේෂණ රැහැනේ සිට පෑලියගොඩ GSS වෙත LILO සම්බන්ධතාවයක් සපයමින්, කිලෝමීටර 2 ක් පමණ දිගු 132 kV තනි-පරිපථ භූගත කේබලයක් ස්ථාපනය කිරීම.
පැකේජය 5 – ජාල-පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS)
පැකේජය 6 – පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය
ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 328.25ක දැවැන්ත ආයෝජනයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය විදුලිබල මණ්ඩල අනුප්‍රාප්තික සමාගම් වන ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයුම්කරු (පුද්ගලික) සමාගම (National Transmission Network Service Provider (Private) Limited – NTNSP) හා ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ග­ලික) සමා­ගම (National System Operator (Private) Limited – NSO) සහ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) හරහා ක්‍රියාත්මක වනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික විදුලිබල පද්ධතියේ වර්ධනය වන ඉල්ලුම සපුරාලීම, අවශ්‍ය ධාරිතාව වර්ධනය කිරීම, විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සදහා වන සැපයුම් සුරක්ෂිතතාව සහ මෙහෙයුම් ස්ථාවරභාවය ශක්තිමත් කිරීම, විදුලියේ වෝල්ටීයතාව සම්බන්ධ ගැටළු අවම කිරීම මෙන්ම කාර්මික, වාණිජ, සංචාරක සහ යටිතල පහසුකම් වර්ධනයට ඉඩ සැලසීමත් අනාගත පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම සදහා ශක්තිමත් ජාලයක් සැකසීමත් අරමුණු කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ හෝමාගම – මීගමුව 132/33 kV ග්‍රිඩ් උපපොළ දෙකක් ඉදිකිරීමට නියමිත අතර අද දින හෝමාගම ඉදිකිරීම් ආරම්භ කෙරුණු ග්‍රිඩ් උපපොළ 2028දී ඉදිකර අවසන් කිරීමට නියමිතය.

බස්නාහිර පළාතේ සීඝ්‍ර නාගරීකරණය සහ වැඩි දියුණු වන කාර්මික වාණිජ සහ සේවාවාසික විදුලි ඉල්ලුම වේගයෙන් වර්ධනය වන ප්‍රදේශයක් ඉලක්ක කරමින් මෙම හෝමාගම ග්‍රිඩ් උපපොළ ඉදිකෙරෙයි.

ඊයේ (13) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සුරතින් ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් ආරම්භ කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සිදුකෙරුණ අතර ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු (පුද්ගලික) සමාගමේ (National Transmission Network Service Provider (Private) Limited – NTNSP) සභාපති නුසිත් කුමාරතුංග, අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිළධාරී එන්.එස්. වෙත්තසිංහ යන මහත්වරුන්ද ඒ සමග එක් වූහ.

මෙම අවස්ථාව සදහා ඉහත පිරිසට අමතරව විදුලිබල ක්ෂේත්‍රයේ සහ අනෙකුත් සමාගම් වල ඉහළ නිළධාරීහු මෙන්ම බලශක්ති අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් රැසක්ද එක්ව සිටියහ.