Wednesday, August 12, 2026
Follow Us
රුපියල් මිලියන 600 ක වියදමින් හාලිඇළ - බදුල්ල මාර්ගය නවීකරණය කිරීමට පියවර
පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ හාලිඇළ සිට බදුල්ල දක්වා වූ කොටස සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වෙන් කර ඇති අතර, එම සංවර්ධන කටයුතු ඉදිරි මාස 06 ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.
පසුගියදා (11) හාලිඇළ නගරයේ සිට බදුල්ල දක්වා සිදුකළ මාර්ග නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා හාලිඇළ ප්රාදේශීය සභාවේ සභාපති ප්රියන්ත වරුෂමාන මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේ, සාමාන්ය පරිදි මාර්ගයක පළුදු නැවත සකස් කිරීමට එහා ගොස් මහජනතාවට උපරිම පහසුවක් සැලසෙන පරිදි සහ නගරයේ අලංකාරය ඉහළ නැංවෙන අන්දමින් මෙම මාර්ග කොටස සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට පියවර ගන්නා බවයි.
 
මෙම සංවර්ධන ව්යාපෘතිය ප්රධාන අංශ කිහිපයක් ඔස්සේ ක්රියාත්මක වේ. අධික රිය අනතුරු සිදුවන ප්රදේශයක් ලෙස හඳුනාගෙන ඇති මෙම මාර්ග කොටසේ මගී සුරක්ෂිතතාව සහ අනතුරු වැළැක්වීම උදෙසා පදික වේදිකා ඉදිකිරීම, මගී මන්තීරු වෙන්කිරීම සහ පදික වේදිකා ආවරණ වැටවල් සවි කිරීමට නියමිතය. එසේම ඇල්ල ප්රදේශයේ සිට බදුල්ල හරහා ගමන් ගන්නා විශාල සංචාරකයින් ප්රමාණයකට අවශ්ය පහසුකම් සලසමින් සංචාරක ප්රවර්ධනය උදෙසා මාර්ගය හා අවට පරිසරය අලංකාරවත් කිරීමටත්, හාලිඇළ සහ බදුල්ල යන නගර ද්විත්වයටම එකසේ ප්රතිලාභ හිමිවන පරිදි නගර සංවර්ධනය තහවුරු කිරීමටත් සැලසුම් කර ඇත.
 
මාර්ග සංවර්ධන ව්යාපෘති භාර ඉංජිනේරුවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ ක්ෂේත්ර පරීක්ෂාවක නිරත වෙමින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ස්ථාන හඳුනාගත් බවත්, ස්වාභාවික පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි ඉතා ආකර්ෂණීය ලෙස ඉදිකිරීම් කටයුතු සැලසුම් කර ඇති බවත් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේය.
 
මාර්ග සංවර්ධන අමාත්යාංශය මගින් බදුල්ල දිස්ත්රික්කයේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර ඇති අතර, ඉන් ලබාදුන් මෙම රුපියල් මිලියන 600 ක ප්රතිපාදන ඉතා ඵලදායී ලෙස ජනතා සුභසිද්ධිය උදෙසා යොදවන බව ද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.