Wednesday, August 12, 2026
Follow Us
ජාතික තරුණ සේවා සභාවෙන් ආපදා කළමනාකරණ විශේෂ පුහුණු වැඩසටහනක්
ජාත්යන්තර තරුණ දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාවෙන් ආපදා කළමනාකරණ විශේෂ පුහුණු වැඩසටහනක් අද (12දා) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්රයේදී පැවැත්විණි. "ON STEPS" 'ආපදාවකට පෙර සූදානම' ලෙස මෙම වැඩසටහන නම් කර තිබේ.
ආපදාවකට පෙර අවදානම් අවම කිරීම, කල්තියා අනතුරු ඇඟවීම සහ සූදානම කෙරෙහි පළමු ප්රතිචාර දක්වන්නන් ලෙස කටයුතු කරමින් නායකත්වය ගත හැකි තරුණ තරුණියන් ගොඩනැගීම ඉලක්ක කරගනිමින් ජාතික තරුණ සේවා සභාව සහ UNFPA එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.
සෑම දිස්ත්රික්කයක්ම නියෝජනය කරමින් Youth Club තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් එම වැඩසටහන පැවැත්විය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන *“The Resilience Lab – Local Youth Action in Crisis Response”* යන තේමාව යටතේ ක්රියාත්මක කෙරිණි.
සැබෑ ආපදා තත්ත්වයන් අනුකරණය කරමින් පැවැති ප්රායෝගික අභ්යාස මගින් තරුණ පිරිසට හදිසි අවස්ථාවන්හිදී නිවැරදි තීරණ ගැනීම, අවදානමට ලක්විය හැකි ජනතාව වෙත පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම, ප්රජාවන් සංවිධානය කිරීම සහ ආපදා අවස්ථාවකදී කඩිනමින් ප්රතිචාර දැක්වීම පිළිබඳ අත්දැකීම් ලබාදීම සිදු විය.
උණුසුම් ආතතියට මුහුණදීමේ අභ්යාසයක්, බහු ආපදා තත්ත්වයන්ට මුහුණදීමේ අභ්යාසයක් සහ ඩෙංගු වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන් සිදුකළ අනුකරණ අභ්යාසයක්ද මෙහිදී පැවැත්විණි.
එමෙන්ම ආපදා ප්රතිචාර දැක්වීමේදී ලිංගික හා ප්රජනන සෞඛ්ය හා අයිතිවාසිකම් මෙන්ම ස්ත්රී පුරුෂ සමාජභාවයට අදාළ කරුණු සැලකිල්ලට ගැනීම, රාජ්ය සහ රාජ්ය නොවන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහ ප්රජා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳවද තරුණ පිරිස දැනුවත් කෙරිණි.
විශේෂයෙන්ම "Cyclone Ditwah" ඇතුළු පසුගිය ආපදා අත්දැකීම්වලින් ලබාගත් පාඩම් සැලකිල්ලට ගනිමින්, අනාගත ආපදා තත්ත්වයන්ට පෙර සූදානම් වීමේදී තරුණ ප්රජාවට පැවරෙන වගකීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
වැඩසටහන අවසානයේ UNFPA සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අත්දැකීම් හා ඉගෙනීම් පිළිබඳ අන්තර්ක්රියාකාරී සැසියක් පැවැත්වූ අතර, සහභාගී වූ තරුණ තරුණියන් සඳහා සහතික පත්ර ප්රදානය කිරීමද සිදු කෙරිණි.
ආපදා අවස්ථාවකදී හුදෙක් ප්රතිචාර දක්වන පිරිසක් වෙනුවට, "පූර්ව අනතුරු ඇඟවීම් ලබාදෙමින්, ප්රජාව සංවිධානය කරමින් සහ ජීවිත ආරක්ෂා කිරීමට ක්රියාකාරීව දායක වන තරුණ නායකත්වයක් ගොඩනැගීම" මෙම වැඩසටහනේ ප්රධාන අරමුණක් විය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහකාර නියෝජිත වෛද්ය දයානාත් රණතුංග, Youth Club තරුණ නායක නායිකාවන් සහ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.