Friday, May 22, 2026
Follow Us
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපය තුලදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (35-45) පමණ තරමක තද සුළං ඇති විය හැක.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටිනු ලැබේ.