Friday, May 22, 2026
Follow Us

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සම සහාපතිත්වයෙන් කතෝලික සභාව සමග සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්විණ.

රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන්ලා බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම රජයට පවරා ගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කතෝලික සභාව සමඟ පවත්වන සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා එහි ලේකම් ලෙස කටයුතු කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙම සාකච්ඡාව ලබා දීම පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය ප්‍රකාශ කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමාගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම තම අපේක්ෂාව බවත්, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන තත්ත්ව නිරාකරණය කර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරු හිමිපාණන්, අතිඋතුම් ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල් රදගුරු හිමිපාණන්, අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණන්, අතිඋතුම් විමල් සිරි ජයසූරිය රදගුරු හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ සාමාජික පියතුමන්ලා,  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.