කෘත්‍රිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පසුබිමක එහි සාර්ථකත්වය සම්පුර්ණයෙන්ම රඳා පවතිනුයේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය රාමුවක් මත යැයිසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය, සදාචාරාත්මක අධීක්ෂණය, නීති, පර්යේෂණ හා සමානාත්මතාව” පිළිබඳ විශේෂ සැසිවාරයට එක්වෙමිනි.
පසුගිය 16වැනිදා ආරම්භ වු 79වන ලෝක සෞඛ්‍ය සමුළුව හෙට (23) දක්වා පැවැත්වෙන අතර සමුළුව සඳහා රටවල් 194ක් නියෝජන්‍ය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විවිධ ආයතන නියෝජිතයින්, නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටී.
සමුළුවට සමඟාමීව පැවැත්වෙන විශේෂ සැසියක් වු සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) සැසිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය නියාමනය කිරීම සඳහා සුදුසු නීතිමය රාමුවක අවශ්‍යතාවය හඳුනා ගෙන ඇති අතර පුද්ගල දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) හඳුන්වා දෙමින් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් කළේ ය.
විශේෂයෙන්ම රෝග විනිශ්චය, සායනික තීරණ ගැනීම සහ රෝගී තත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා බලපාන කෘත්‍රිම බුද්ධිය (AI) මෙවලම් වෛද්‍ය උපකරණ ලෙස ලියාපදිංචි කිරීම ඇගයීම, පශ්චාත් වෙළඳපොළ අධීක්ෂණය සඳහා වන යාන්ත්‍රණයක් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීමේ දී දත්ත රහස්‍යභාවය, සයිබර් ආරක්ෂණය සහ වගවීම සහතික කෙරෙන දත්ත පාලන රාමුවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන අතර එම සදාචාරාත්මක ආරක්ෂණ ක්‍රමවේදයන් අත්‍යවශ්‍යවන බව ද පැවසීය. එමෙන් ම එහි දී සදාචාරාත්මක ආරක්ෂණ ක්‍රමවේදයන් තාක්ෂණික නිර්මාණයේ මුල් අදියරේ සිටම ඇතුළත් විය යුතු බව ද සඳහන් කළේ ය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ගෝලීය වශයෙන් සංවර්ධනය කෙරෙන AI විසදුම් දේශීයකරණයකින් තොරව ඍජුවම භාවිතා කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා තවදුරටත් පුළුල් කිරීම හේතු විය හැකි බව ද පැවසීය.
එබැවින් මෙම තාක්ෂණයන් මෙරට රෝග ව්‍යාප්තිය, සෞඛ්‍ය සේවා කාර්යය ප්‍රවාහයන්, භාෂාව සහ සමාජීය යථාර්තයන්ට ගැළපෙනසේ අනුවර්තනය කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේ ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා අනාගත පර්යේෂණ කටයුතු සහ ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා විශාල දත්ත පද්ධති භාවිතා කිරීමේ දී බුද්ධිමය දේපළ අයිතීන් කළමණාකරණය සඳහා නව පරිපාලන ක්‍රමවේද සහ රෙගුලාසි හඳුන්වා දියයුතු බව ද සඳහන් කළේ ය.
එමෙන් ම මහජන සෞඛ්‍ය ප්‍රමුඛතා, රෝගී සුභ සාධනය සහ ජාතික ප්‍රතිපත්ති සැම විටම ප්‍රමුඛ ස්ථානයේ තබා ගනිමින් මෙම තාක්ෂණික සංක්‍රමණය සිදු කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද සඳහන් කළේ ය.
මෙම සැසිවාරයට ඉන්දියාව, නේපාල, තායිලන්තය ඇතුළු රටවල් රැසක සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරුන් මෙන්ම නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.